දිනේෂ් ෂාශ්ටර්ගේ ශරීර කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා විශේෂඥ මණ්ඩලය අතට !

(ලලිත් චාමින්ද )

අභිරහස් අන්දමින් ඝාතනයට ලක්වූ ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාශ්ටර්ගේ සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා ලබාගත් බැව් දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා පත්කරනු ලැබු පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලයේ සාමාජික ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර පවසයි.

දිනේෂ් ෂාශ්ටර්ගේ මූලික පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ (26) දින අවසන් කළ බවත් එහිදී වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා සිරුරේ කොටස් ලබාගත් බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පවසයි. සිරුරෙන් ලබාගත් කොටස්වල පරීක්ෂණ කටයුතු සඳහා සති දෙකක පමණ කාලයක් ගතවිය හැකි බවද හෙතෙම පෙන්වාදෙයි. ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය වුවහොත් දිනේෂ් ෂාශ්ටර්ගේ සිරුරේ කොටස් ලබාගැනීමට සතිදෙකක පමණ කාලයක් මළ සිරුර තබාගන්නා බවත් ඉන්පසු දේහය ඥාතින්ට භාරදීමට කටයුතු කරන බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පවසයි.

අවසාන පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණය වෙත ලබාදීම සඳහා මාසයක් හෝ දෙකක පමණ කාලයක් ගතවිය හැකි බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.


අභිරහස් ලෙස මියගිය දිනේෂ් ෂාශ්ටර්ගේ මළ සිරුර ගොඩගැනීමෙන් පසු ඉකුත් (25) දින පස්වරුවේදි දෙවැනි පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීම සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරය වෙත රැගෙන එනු ලැබීය. එදින රාත්‍රියේම පශ්චාත් මරණ පරික්ෂණය සඳහා පත්කරනු ලැබු පංච පුද්ගල විද්වත් කමිටුව විසින් දිනේෂ් ෂාශ්ටර්ගේ මළ සිරුර සී.ටී ස්කැන් පරීක්ෂණයට ලක්කරනු ලැබීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොළඹ විශ්වවිද්‍යාලයේ වොහාරික වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය අසේල මෙන්ඩිස්ගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් විසින් දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරනු ලැබීය. මෙකී වෛද්‍ය මණ්ඩලයේ අනිකුත් සාමාජිකයන් වන්නේ රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යු.සි.පි පෙරේරා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩි.එච්.එස් ප්‍රනාන්දු, මහනුවර ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි එස් .ශිව සුබමනියම් සහ කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර යන පිරිසය.

Exit mobile version