දැඩි සුළං නිසා විදුලි බිඳවැටීම් 7000ක්

තුෂාරී කළුබෝවිල

දිවයින ආශ්‍රිත ව පැවති දැඩි සුළං තත්ත්වය හේතුවෙන් 10 වැනි සෙනසුරාදා උදෑසන වන විට විදුලිය බිඳ වැටීම් 7355 ක් වාර්තා වී ඇති අතර දිස්ත්‍රික්ක 08 ක ස්ථාන 27කට මිලිමීටර් 100කට වැඩි වර්ෂාපතනයන් ඇති වී තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුවට මිලිමීටර් 193.25ක ද ලංකාගමට මිලිමීටර් 177.00ක ද රත්නපුර දිස්ත්‍රික්කයේ කලවානට මිලිමීටර් 183.50ක ද දොළොස්වල වතුයායට මිලිමීටර් 164.50ක ද වැසි ඇති වී ඇති අතර එකී දිස්ත්‍රික්කවල මෙන් ම කොළඹ, කලුතර, මාතර, මහනුවර, නුවරඑළිය, කෑගල්ල දිස්ත්‍රික්කවල ද මෙසේ මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇති වී තිබේ.


ඒ අනුව කලු ගඟ ආශ්‍රිත ව රත්නපුර, කුරුවිට, කිරිඇල්ල, අයගම, ඇලපාත ප්‍රදේශවල ද කැලණි ගඟ ආශ්‍රිත ව රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, කඩුවෙල, බියගම, කොළොන්නාව, වත්තල, දෙහිඕවිට ප්‍රදේශවල ද ගිංගඟ ආශ්‍රිත ව වැලිවිටිය, දිවිතුරා, බැද්දේගම, කොටපොළ, නියාගම, නෙලුව, අක්මීමන, නාගොඩ, ඇල්පිටිය, බෝපේ, පෝද්දල ප්‍රදේශවල ද නිල්වලා ගඟ ආශ්‍රිත ව පණඩුගම ප්‍රදේශවල ද පහත් බිම් රැසක් ජලයෙන් යට විය.

මේ අතර දිස්ත්‍රික්ක 08කට නායයාම් අනතුරු නිකුත් කර ඇති අතර ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නෙලුව, ඇල්පිටිය ද කලුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, වලල්ලාවිට, අගලවත්ත, මතුගම, බුලත්සිංහල ද කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, රුවන්වැල්ල, දැරණියගල, යටියන්තොට, බුලත් කොහුපිටිය ද නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ද රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත, කළවාන, කොළොන්න, කුරුවිට, ඉඹුල්පේ, රත්නපුර, අයගම, ගොඩකවෙල, ඇළපාත, නිවිතිගල ද කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක, සීතාවක ද මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, අකුරැස්ස, මුලටියන, අතුරළිය ද මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළේ, පස්බාගේ කෝරළේ ද නායයාම් අවදානම් ප්‍රදේශ බවට අවධාරණය කර ඇත.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරනුයේ ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදීම තවදුරටත් අවධානම් බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තද සුළං හා වැසි තත්ත්වය බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, වයඹ, උතුර, උතුරු මැද පළාත් ආශ්‍රිත ව තවදුරටත් විටින් විට පවතින බවත්, නිරිතදිග මෝසමේ සක්‍රිය තත්ත්වයක් මීට හේතු වී ඇති බවත් ඔවුහූ පැවසූහ.

Exit mobile version