දවස් 14ක් රට වහන්න… රාජ්‍ය ඇමති සුදර්ශනී ජනාධිපතිගෙන් ඉල්ලයි…

Sudharshani

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පවතින බරපතල වසංගත තත්වය තවත් උග්‍රවන්නට ඉඩ නොදී දින 14ක් රට වසා දමන ලෙස විද්වත් වෛද්‍ය වෘත්තිකයින් රාශියක් විද්‍යාත්මක දත්ත මත පිහිටා කරන නිර්දේශය පිළිබඳ අවධානය යොමුකරනැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥවෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ විසින් ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා ඇතැයි වාර්තා වේ.

කොවිඩ් වසංගතයට හේතුවන සාර්ස් වෛරස පිළිබඳව ලෝකයේ තීරණාත්මක ගවේෂණ කාර්යයක් කළ ශ්‍රි ලාංකික ජාත්‍යන්තර විද්වතකු වන හොංකොං විශ්ව විද්‍යාලයේ වෛරසවේදය පිළිබඳ මහාචාර්ය මලික් පීරිස් සහ කොළඹ වෛද්‍ය පීඨයේ හිටු පීඨාධිපතිනියක සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශිකාවක ලෙස කටයුතු කරන මහාචාර්ය කාමනි මෙන්ඩිස් එක්ව ශ්‍රි ලංකාවේ වර්තමාන කොවිඩ් වසංගතය පිළිබඳ කරන ලද පර්යේෂණ තක්සේරුවකින් අනතුරුව නිර්දේශ කර තිබුණේ වහාම රට දින 14ක කාලයකට අගුලු දැමිය යුතු බවය.

මේ තත්වය විවිධ විද්වත් වෛද්‍ය වෘත්තිකයන් විසින් කරුණු සහිතව අවස්ථා ගණනක දී පෙන්වා තිබිණි.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය අද මාධ්‍යය අමතා පවසා තිබුණේ දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවට වඩා තුන් ගුණයක් පමණ ආසාදිතයින් පිරිසක් සමාජය තුළ සිටිය හැකි බවත්, සමාජයේ සිටින ආසාදිතයින්ගෙන් තවදුරටත් සමාජය තුළ වෛරසය පැතිරයාමේ අවදානමක් පවතින බවත්ය.

හැකි තරම් සමාජය හා නොගැටී නිවෙස්වල සිටින ලෙස ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

Exit mobile version