දරාගත නොහැකි “සැනිටරි පෑඩ්“ මිල පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කෙරෙයි… මිල අඩුකරන බව වෙළෙඳ ඇමති කියයි!

සනීපාරක්ෂක තුවාවල බදු අඩු කර මිල අඩු කිරීම සඳහා අද සවස තමන්ගේ මූලිකත්වයෙන්  එම නිශ්පාදන සිදුකරන දේශීය නිශ්පාදකයින්, විදේශීය ආනයනය කරුවන් සහ  නිලධාරීන් සම්බන්ධ වී විශේෂ සාකච්ඡාවක් පවත්වන බව වෙළෙඳ ඇමති නලීන් ප්‍රනාන්දු අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ සනීපාරක්ෂක තුවාවල මිල  ඉහළ යෑමත් සමග එය සෞඛ්‍ය ප්‍රශ්නයක් වී පාසල් දරුවන් විෂයෙහි ඍජුව බලපානු ලබන ආකාරය සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලවත්ත මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු සපයමිනි.

එහිදී වෙළෙඳ ඇමතිවරයා ප්‍රකාශ කළේ මේ නිශ්පාදනවල මිල  සාධාරණ ලෙස අඩුකළ හැකිදැයි යලි සමාලෝචනයක් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය තමන්ව දැනුම්වත් කර ඇති බවත් ඒ සඳහා මේ වනවිටත් විශේෂ අවධානයක් යොමුවී ඇති බවත්ය.

ඒ හැකියාව ගැන සොය බැලීමට සාකච්ඡාවක් අද සවස පැවැත්වෙන්නේ යැයි  කී වෙළෙඳ ඇමතිවරයා   අවශ්‍ය ඉහළම සුදුසු ප්‍රායෝගික ක්‍රියාමාර්ගය ගන්නා බවත්   පැවසුවේය.


මෙහිදී කතා කළ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  රෝහිනී කවිරත්න   කීවේ  පහුගිය කාලයේ සියයට හතලිස් දෙකක බද්දක් සනීපාරක්ෂක තුවා සඳහා පනවා ඇති බවය.  වැට් බද්දේ වැඩිවීමත් සමග එය සියය හතලිස් පහ දක්වා වැඩි වී ඇති අයුරු ඇය හෙළි කළාය.

“පාසල් දැරියන්ට, කාන්තාවන් අත්‍යාවශ්‍ය සෞඛ්‍ය පහසුකමක් වුවත් සනීපාරක්ෂක තුවා සුඛෝපභෝගී භාණ්ඩයක් වෙලා.  එම පැකට් එකක් ගන්න හාල් කිලේ දෙක තුනකට යන මුදල වියදම් කරන්න වෙලා තියනවා. විකල්පය ඒවා පාවිච්චි නොකිරීම. ඒ නිසාම  සෞඛ්‍ය ප්‍රශ්න ඇති වෙලා තියනවා.“ ඇය කීවාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය දවස්වල වාර්තා වූයේ මෙම සනීපාරක්ෂක තුවාවල දරාගත නොහැකි මිල නිසා ඔසප් සමයේ පාසල් දැරියන් පාසල් නොපැමිණීමේ ඉහළ ප්‍රවණතාවයක් ඇති වී තිබෙන බවය.

Exit mobile version