දප්පුල අනිවාර්යයෙන් TID යා යුතුව ඇති දවස අද!

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අනිවාර්යයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පැමිණිය යුතු වන්නේ අද (24) ය.

කැඳවීම් ප්‍රකාරව අද හිටපු නීතිපතිවරයා ත්‍රස්ත විමර්ශන කොටඨාසයට නොපැමිණයහොත් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව එම කොට්ඨාසය ඔහු වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

වර්ෂ 2021 මැයි මස මුල දි  තමන් විශ්‍රාම ගැනීමට දින කිපයකට පෙර  පාස්කු ප්‍රහාරය සම්බන්ධව ආන්දෝලනාත්මක ප්‍රකාශයක්  කළ හිටපු නීතිපතිවරයාගේ ප්‍රකාශය හේතුවෙන් සිදුකරන  විමර්ශන සම්බන්ධව සැක සංකා මතුවී තිබෙන නිසා ඔහු කැඳවා ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ විසින් නීතිපතිවරයාට කළ දැන්වීම අනුව මෙම කැඳවීම කර තිබිණි.

2021 මැයි මස මුලදී හිටපු නීතිපති දප්පුල ද ලිවේරා පැවසුවේ “2019 අප්‍රේල් ප්‍රහාරය සම්බන්ධයෙන් මහා කුමන්ත්‍රණයක් පවතී” යනුවෙනි.  2019 අප්‍රේල් 21 ප්‍රහාරයේ  නායකත්වය පිළිබඳ නිගමනයකට එළඹීම සඳහා සාක්ෂි සහ බුද්ධි තොරතුරු සහ සියලුම අදාළ තොරතුරු හොඳින් ඇගයීමට ලක් කළ යුතු බවත්  ඔහු සඳහන් කළේය. රාජ්‍ය බුද්ධි සේවයේ වේලාවන්, ඉලක්ක, ස්ථාන, ප්‍රහාර එල්ල කළ ක්‍රම ඇතුළු අනෙකුත් තොරතුරු ඇතුළත් සමස්ථය  මහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවට පැහැදිලි සාක්ෂියක් බවද හිටපු නීතිපතිවරයා වැඩිදුරටත් පැවසීය.


මේ ප්‍රකාශය සම්බන්ධව විමර්ශනයක් සඳහා  මුල් වරට පසුගිය 19 වැනිදා ඔහුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවනු ලැබුවත් නීතිඥයෙක් මාර්ගයෙන් ඔහු පිටු හතක නෛතික විරෝධතාවයක් ඉදිරිපත් කළේය.

හිටපු නිතිපතිවරයා  පවසා සිටියේ තමන් නීතිපති අවධියේ දී  මේ ප්‍රහාරය සම්බන්ධව පිටු 130ක  උපදෙස් ලිපියක්  පොලිස්පතිවරයාට යොමු කර ඇති බවය.   ඒ සම්බන්ධව නිසි පියවර ගෙන ඇති ද යන්න ගැන අදාල නිලධාරීන්ගෙන් සහ වත්මන් නීතිපතිවරයාගෙන් විමසන ලෙස ඔහු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට දන්වා තිිබිණි.

වත්මන් නීතිපතිවරයා මේ ප්‍රහාරය සම්බන්ධව අධි චෝදනා ගොනු කර ඇති බැවින් හිටපු නීතිපතිවරයෙකුගෙන් ප්‍රකාශ ගැනීමට අවශ්‍ය නොවන බව දප්පුල ද ලිවේරා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මාධ්‍යයට පැවසුවේය.

නීතිඥයෙක් මාර්ගයෙන් කළ මෙම නෛතික විරෝධය සහ  කරුණු දැක්වීම පිළි නොගත්  ත්‍රස්ත විමර්ශන ඒකකය  අප්‍රේල් 21 වැනිදා යළි හිටපු නීතිපතිවරයා  එම ඒකකයට  කැඳවා තිබිණි.

වත්මන් නීතිපතිවරයා සහ නීතිඥ සංගමය අතර යොදා ගත් සාකච්ඡාවක් හේතුවෙන් එදින ද හිටපු නීතිපති දප්පුල ද ලිවේරා ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත පැමිණ තිබුණේ නැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද (24) හිටපු නීතිපතිවරයා ත්‍රස්ත විමර්ශන ඒකකයට නොපැමිණියහොත් ඔහු විෂයෙහි නීතිය ක්‍රියාත්මක කරන බව එම ඒකකය ලිඛිතව දැනුම් දෙන්නේ ඉන් අනතුරුවය.

Exit mobile version