තේ වගාව මත සූරිය පැනල… රටේ ආර්ථික ගැටලුවටත් බලශක්ති අර්බුදයටත් එක්වර උත්තර හොයන හැටි පේරාදෙණිය විද්වත්හු පෙන්වා දෙති!

දකුනු ආසියාවේ පළමු වතාවට තේ වගාව මතට සූරිය පැනල... හන්තානේ දී ව්‍යාපෘතිය සාර්ථකව දියත් කරයි...

ඉඳුනිල් කහටපිටිය –

තේ වගාව මත සූරිය පැනල සවි කර විදුලි උත්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් දකුණු ආසියාවේ ප්‍රථම වතාවට දැන් අපේ රටේ ක්‍රියාත්මකය.

තේ ගස්මත සවිකරන ලද සූර්යබලශක්ති උප්පාදන පැනල මගින් විදුලි ජලනය කිරීමේ මෙම ව්‍යාපෘතිය ආරම්භ වී ඇත්තේ    මහනුවර හන්තානයේය.

ලෝකයේ කාලගුණ විපර්යාසයන් සමග මෙවන් ව්‍යෘපෘතියක අවශ්‍යතාවය රටට හඳුන්වා දෙන්නට කටයුතු කලේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විදුලි සහ විද්‍යුත් ඉංජිනේරු  දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ජනක ඒකනායක ය. රටේ බලශක්ති අවශ්‍යතාවය තෘප්ත කරන අතරම    ගොවි ජනතාවගේ ආර්ථික හා ජීවන තත්ත්ව   නගා සිටුවීම මෙම ව්‍යාපෘතියේ අරමුණ ය.

විදුලිය අපට කොතරම් අත්‍යවශ්‍ය බලශක්ති සාධකයක් වුවද මේ වන විට පවතින ආර්ථික අර්බුදය හමුවේ එය අධික ලෙස සීමා කිරීමට සිදුව තිබේ. ලෝකයේ විදුලි බිල ඉහළ අගයක් ගන්නා ප්‍රමුඛ පෙළේ රටක් වන්නේද ශ්‍රි ලංකාවය.  විදුලි බලයට ආදේශක ලෙස වෙනත් බලශක්ති සාධකයන් කොතෙක් තිබුණද ලංකාව වැනි සමකයට ආසන්න හිරුඑළිය හොඳින් ඇති රටකට වඩාත් ඵලදායක බලශක්ති ප්‍රභවයක් ලෙස හිරු එළිය යොදා ගත හැකිය. එමනිසා සූර්ය බලශක්තිය ප්‍රයෝජනයට ගන්නා සෝලා පැනල් , විදුලියට හොඳ ආදේශකයකි. එහෙත් තවමත් සෝලා පැනල් මිල දී ගැනීමට හෝ විකිණිමට   ශ්‍රී ලංකාවාසි ජනතාව නැඹුරු වී නැත .


කෙසේ වෙතත් පුනර්ජනනීය බලශක්තිය විෂයෙහි ලෝකයේ නව සොයාගැනීම් දිනෙන් දින සාර්ථක වෙමින් ඉදිරියට යයි. පේරාදෙණියේ විද්වතුන් විසින්    දකුණු ආසියාවේ පළමු අර්ධ සෝලා පැනල  හන්තාන තේයායක් මත ස්ථාපිත කර ඇත්තේ ඒ පර්යේෂණ ධාරාවේ වර්ධනීය අංශයක් ලෙසය.

එහි විශේෂත්වය වන්නේ වගාවක් මත එලන ලද සෝලා පැනල මගින් සුර්ය බල ශක්තිය රැස්කර ගන්නා අතරතුර , සාර්ථක තේවගාවක්ද පවත්වාගෙන යාමය. අතුරු වගාවන් යටතේ පවතින වගාවන් මත මෙලෙස සෝලා පැනල එලමින් බලශක්තිය උත්පාදනය කිරීමෙන් අත්වන වාසි බොහෝය .

මේ වන විට රටතුළ ඇති භුමිය ඍජුවම  සූර්ය බලශක්ති උත්පාදනයට යොදා ගැනිම පිණිස  වෙන් කර ගත් විට , කෘෂිකර්මාන්තයට ඇති ඉඩකඩ සීමා වනු ඇත. එසේම රටේ මැද හෝ දකුණු දෙසට වන්නට භූමිය පරිහරණය කිරිම අපහසු බැවින් මෙවන් නව ව්‍යාපෘත්ති බිහි කිරිම සදහා ඇති පෙළඹවිම ද අවම වී යයි. මෙතෙක් සූර්ය බලශක්ති ව්‍යාපෘති සම්බන්ධ තොරතුරු විශ්ලේෂණයේදි අප අසා දැක ඇත්තේද රටේ උතුරට වන්නට පමණක් මෙවන් ව්‍යාපෘති ආරම්භ වී ඇති ආකාරයකි.

මේ සම්බන්ධයෙන් මහාචාර්ය ඒකනායක මහතා පවසන්නේ මෙවැන්නකි.

“තේවගාව මත සිදුකරන මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වයත් සමග අපි තවත් බෝග වගාවන් සම්බන්ධයෙන් අවධානය යොමු කොට තිබෙනවා. ඒ තවත් බෝගයක් තමයි වැනිලා.

වැනිලා වගාවට ඉහළින් තවත් බෝගයක් වැවීම සාමාන්‍ය ක්‍රමවේදයක්. එසේ සිදු කරන්නේ වැනිලා බෝගය සෙවන ප්‍රිය බෝගයක් නිසායි. ඒ වගේම දෙහිඅත්තකණ්ඩිය වගේ තැන්වල හරිතාගාර වගාවේදි එළිය සහ ජලවාෂ්පිකරණයේදි ඇති වන තත්ත්වයන් පිළිබදව සොයා බලා අර්ධ සූර්ය බල ශක්ති උත්පාදනයට සුදුසු පරිසරයක් ගෙන දෙන බවක් පෙන්වනවා. මේ සියල්ල පිළිබඳව පර්යේෂණ සිදු කරන්නේ , එම පරිසරය සූර්ය බල ශක්ති උත්පාදනයට සුදුසු බව පෙනෙන්නට තිබෙන නිසයි.”

“දැනට අපේ තේ ව්‍යාපෘතිය තුළ බිම් ජල සැපයුම මත කන්න තුනම වගා කිරිමේ හැකියාව තිබෙනවා. කන්න තුනම මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න සුදුසු පරිසරයක්ද නිර්මාණය වෙනවා. මේ තාක්ෂණය ලංකාව වැනි රටක සෙවන ප්‍රිය බෝග සදහාත් කර්කෂ  සූර්යය රශ්මිය අධික ප්‍රදේශ  සදහාත් යොදා ගත හැකියි.

සෝලා ඒකකයක් හෙවත් සූර්යය බල ශක්ති ඒකකයක් රුපියල් 34.25 ක් වෙනවා. ඒ අනුව , වසර පුරා ආදායම් ලැබිය හැකි පරිසරයක් ගොඩ නැගෙන බව මාගේ විශ්වාසයයි.

අනාගතයේ විවිධ පුහුණු වැඩසටහන් පවත්වා ගෙන යාමත් දැනුවත් කිරිම් සිදුකිරිමත් මත ජනතාව අතරට මෙම ව්‍යාපෘතින් රැගෙන යන්න පුළුවන්.  ආලෝකය අවම වීම මත අස්වනු යම්තරමක අවම වීමක් පෙන්වුවත්  වසර පුරාම වගාව පවත්වාගෙන යා හැකි බැවින් , ගොවියාට ආර්ථිකමය පාඩුවක් අත්විදින්නට සිදුවන්නේ නැහැ.

මේ සම්බන්ධයෙන්වන තොරතුරු ජනතාව අතරට ගෙනයාම රජයේ වගකීමක්. විශ්ව විද්‍යාලය මගින් පර්යේෂණ සිදු කරමින් රටේ බලශක්ති අර්බුදයට විසදුම් සොයමින් එම විසදුම් ප්‍රායෝගිකව රටේ ජනතාව අතරට ගෙනයන වැඩසටහන් ව්‍යාපෘති අපි සකස් කරමින් යන මොහොතක් මේ.

නව තාක්ෂණය පිළිබඳව ශ්‍රි ලාංකික ජනතාව දැනුවත් මදි. විශේෂයෙන්ම ගොවි ජනතාව මෙහි ලාභය පිළිබඳව දැනුවත් නම් ඔවුන් මේ සදහා යොමුවන බව නියතයි. කිලෝවොට්ස් සියයක් උත්පාදනය කර විකිණිය හැකි වුවහොත් ඩොලර් දාහක් උපයාගන්න ගොවියෙකුට හැකි වෙනවා.

වසර විස්සක් පුරා එක් ව්‍යාපෘතියක් පවත්වාගෙන යන නිසාම ලැබෙන ආදායම දිනෙන් දින ඉහළ යනවා. අක්කරයක භූමියක් හිමි කාට වුවත් මේ කටයුත්තට දායක වන්න පුළුවන් . ඒ විතරක් නෙවෙයි … අපි හිතමු හිමිකරුවන් කිහිපදෙනකු සිටින කුඩා ඉඩම් කිහිපයක් එක් භුමියක තිබෙනවා කියා. ඒ සියළු දෙනාට එකඟතාවයකට පැමිණ සූර්යයබල ශක්ති උත්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කරන්න පුළුවන්. සියළු දෙනාම දැනුවත් වීමයි අතිශය වැදගත්   .“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ තාක් සූර්යයබල ශක්ති උත්පාදනය සිදුවනු දැක ඇත්තේ නිවාස මත , පොළවේ හිස් අවකාශය මත හෝ ජලය මතය. වගාවක් මත සිදුවන මෙම සූර්යය පැනල මගින් ගොවි ජනතාවගේ අත මිට සරු වන්නේ නම් , ඒ සදහා යොමුවීමට දැන් කාලයයි.

Exit mobile version