තාක්ෂණ- පර්යේෂණ සේවා එක වහළක් යටට

තාක්ෂණ, පර්යේෂණ හා නවෝත්පාදන සම්බන්ධ සේවාවන් ජනතාවට සමීප කරවීමට මෙන්ම එම ක්ෂ්‍රේත්‍රයට අදාලව ජනතා ගැටඵ නිරාකරණය හා තාක්ෂණික මාර්ගෝපදේශ කඩිනමින් සැපයීම අරමුණු කරගත් සම්බන්ධීකරණ ඒකකයක් පිහිටුවීමට නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යය සැලසුම් කරයි.

විෂය භාර රාජ්‍ය අමාත්‍යවරිය වන වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මියගේ සංකල්පයක් අනුව සැලසුම් වන මෙම නව ඒකකය මඟින් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන පර්යේෂණ හා සංවර්ධන ආයතනවලින් විවිධ වූ සේවාවන් ලබා ගැනීමට පැමිණෙන සේවාලාභියෙකුට එක වහලක් යටදී කාර්යක්ෂම හා සුහදශීලී සේවාවක් මෙන්ම මගපෙන්වීමක් ඉතා ඉක්මනින් ලබාදීම අපේක්ෂා කෙරේ. සෙත්සිරිපාය දෙවන අදියරේ 6 වන මහලේ ඇති අමාත්‍යාංශ පරිශ්‍රයේ දි ඔක්තෝබර් 5 වැනිදා මෙම ඒකකය ආරම්භ කිරිමට නියමිතය.

තාක්ෂණය පදනම් කරගත් සමාජයක් බිහිකිරිම තුළින්, පර්යේෂණ හා නවෝත්පාදන හරහා එහි ප්‍රතිලාභ ආර්ථිකයට දායක කර ගැනීමට සාමූහිකව කටයුතු කළ හැකි ස්ථානයක් මේ හරහා නිර්මාණය වේ.


පර්යේෂණ හා නව නිපැයුම් සඳහා තාක්ෂණික සහය හා මගපෙන්වීම ලබා දීම, එම නිර්මාණ වාණිජකරණයට පහසුකම් සලසා දීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය නිර්මාණය, ව්‍යාපාර සංවර්ධනය, තාක්ෂණික පැවරුම් සිදුකිරීම, නිර්මාණ වාණිජකරණය තුළින් විවිධ පරිමාණයේ කර්මාන්ත ඇතිකිරීමේ දී අවශ්‍ය මූල්‍ය පහසුකම් සලසා ගැනීමට මැදිහත් වීම ආදී සේවාවන් සැපයීමෙන් සේවාලාභීන්ට සහය වීම මෙහි දී සිදු කෙරේ.

මෙම ඒකකය ආරම්භ කිරීමෙන් පසු සෑම සතියකම සදුදා දිනයේ අදාල ආයතන වල වගකිවයුතු නියෝජිතයින් මෙහිදි සම්බන්ධිකරණ කාර්යය සදහා යොමු කෙරෙන අතර එම නියෝජිතයින් සේවාලාභියාගේ ගැටඵව නිරාකරණයට වගකීමෙන් බැදී සිටී.

අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය, ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය, ජාතික විද්‍යා පදනම, ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිසම, ජාතික පර්යේෂණ සභාව, ජාතික මූලික අධ්‍යයන ආයතනය, විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයය, සිත්‍රා – සමාජ නවෝත්පාදන පර්යේෂණාගාරය මෙන්ම දිවයින පුරා ස්ථාපිත කර ඇති විදාතා සම්පත් මධ්‍යස්ථාන ජාලය සහ ලෝක බුද්ධිමය දේපල සංවිධානය ආදී ආයතන සම්බන්ධීකරණයෙන් නවෝත්පාදන හා පර්යේෂණ විෂයයට අදාල පහසුකම් සැලසීමේ කාර්යය මෙම ආයතනය තුළ දී සිදු කිරීමට අපේක්ෂා කෙරේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නව නිර්මාණකරුවන්, නව ව්‍යවසායකයන් තම අරමුණු සංවර්ධනය කිරීමේදී පසු කරන විවිධ අදියරයන් ට අනුව සේවාවක් හෝ මග පෙන්වීමක් අපේක්ෂාවෙන් වරින් වර එක් එක් ආයතන වලට යාමට ගතවන කාලය අවම කිරීම, විවිධ අවස්ථාවල පීඩාවට පත් වීම අවම කිරීම මෙන්ම බලාපොරොත්තු බිඳ වැටීමකින් තොරව සුබවාදී බලාපොරොත්තු ඇති කරවමින් මෙම ‍ව්‍යුහය ඉදිරියේ දී ක්‍රියාත්මක වන බව රාජ්‍ය අමාත්‍යවරිය අවධාරණය කළාය.

Exit mobile version