තරුණ හඬට සවන් දෙන්න සූදානම්… සර්ව පාක්ෂික රජයකට එන්න  -අගමැති දේශපාලන පක්ෂවලට කියයි!

අගමැති දළදා වඳින්න නුවර එයි - ජනපති දැකුම මග හැරි වසන්ත යාපා උදේන කිරිඳිගොඩ අගමැති දකින්න යති...

තරුණ හඬට සවන් දෙමින් පාර්ලිමේන්තුව හරහා ඊට සුදුසු ගමන් මඟ සකස් කරන බවත් පුද්ගලික අංශයේ හෝ රටේ කිසිම තැනක කිසිම නීති විරෝධී කටයුත්තකට මින් මතු ඉඩ නොතබන බවත්  අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන  ප්‍රකාශ කළේය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා දේශපාලන භේදයෙන් තොරව සියලු දෙනාට එක්වන ලෙස ආරාධනා කරන බව ද ඔහු පැවසීය.

අගමැතිවරයා අද (31)  මේ බව ප්‍රකාශ කළේ   මහනුවර පැමිණි   ශ්‍රී දළදා මාලිගාවේදී දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි.

මහනුවර පුරපති කේසර සේනානායක  විසින් ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී අග්‍රමාත්‍යවරයා පිළිගන්නා ලදි. ශ්‍රී දළදා මාලිගාවේදී ඔහුව පිළිගනු ලැබුවේ විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්ත   විසිනි.


දන්ත ධාතූන් වහන්සේ වන්දනා කිරීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා, සිය සංචාරය සනිටුහන් කරමින් විශේෂ අමුත්තන්ගේ සමරු ග්‍රන්ථයේ සටහනක් තැබීය.

අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කළ අගමැතිවරයා මෙම තීරණාත්මක අවස්ථාවේදී රට මුහුණ දෙන අභියෝග ජය ගැනීම සඳහා රජය සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙසට සියලු දෙනාට ඇරයුම් කරන බව කීවේය.

රටේ සියලු පාර්ශව සමඟ මිත්‍රත්වයෙන් හා අන්නොන්‍ය  විශ්වාසයෙන් යුතුව කටයුතු කරන්නේ රජය වන බැවින් හදිසි නීතිය සම්මත කරනු ලැබුවේ සියලු පාර්ශවයන්ගේ ආරක්ෂාව හා රට තුළ සාමය ස්ථාපිත කිරීම සඳහා යැයි  ද සඳහන් කළේය.

ජනාධිපතිවරයා සහ තමන් මේ වන විට තානාපතිවරු ඇතුලු ජාත්‍යන්තර සබඳතා දැනුවත් කොට සහයෝගය ලබා ගැනීමේ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි ද අග්‍රමාත්‍යවරයා කීවේය. රටට නීතියක්, රීතියක් මෙන්ම නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාත්මක වන්නේ සියලු රට වැසියන්ගේ යහපත පිණිස යැයි ද අගමැතිවරයා කීවේය.

රජය පමණක් නොව පෞද්ගලික අංශයේ ක්‍රියාකාරීත්වය රටේ ජීවනාලිය වන බැවින් කඩාකප්පල්කාරී ක්‍රියා, නීතියෙන් බාහිර ක්‍රියා  සිදුකිරීමට අවස්ථාව නොදෙන බව ද ඔහු කීවේය.

අධිකරණයට ගරු කරන රජයක් වශයෙන් අධිකරණ තීන්දු හිසනමා පිළිගන්නා බවත් ඕනෑම අයෙකුට අධිකරණයේ පිහිට පැතීමේ අයිතියට ගරු කරන බව හෙතෙම සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ, අමාත්‍ය කෙහෙළිය රඹූක්වැල්ල, පුරපති කේසර සේනානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, දිලුම් අමුණුගම, සිසිර ජයකොඩි, වසන්ත යාපා බණ්ඩාර, උදයන කිරිඳිගොඩ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්   ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

Exit mobile version