තරුණ සරසවි සිසුහු දියත උද්ඝෝෂණය තාවකාලිකව නවත්වති…  

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය දියත උයන ඉදිරිපිට පාර්ලිමේන්තු ප්‍රවේශ හරස්කරමින් දියත් කළ දැවැන්ත උද්ඝෝෂණය නිමාකර මහා මාර්ගය විවෘත කළේය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ප්‍රකාශ කළේ ඊලඟ පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරන තෙක් කාල කළමනාකරණය කරගෙන තීන්දුවක් ලබා ගැනීමට රජයට අවස්ථාව ලබාදෙන බවත්, එසේ නොවන්නේ නම් මේ රටේ මව්වරු පියවරු ඇතුළු ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සමග පැමිණ පාර්ලිමේන්තුවෙන් කිසිවෙකුට පිටවීමට ඉඩ නොදී අගුළු දමන බවත්ය.

“පූටින් කිව්ව ජනාධිපති බංකර් දාගෙන ජනතාවට බයේ හැංගිලා. අගමැතිත් එහෙමයි. ආණඩුවම එහෙමයි.“

“සමාජ මාධ්‍ය ඇතුලෙ පුංචි පුංචි  කණ්ඩායම් තරුණයො විදිහට පටන් ගත්ත අරගලය අද  මුළු රටම වෙලාගෙන. ඒ ආදරණීය සහෝදරයින්ට ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ උත්තමාචාරය පිරිනමනවා.“


මේ පාර්ලිමේන්තුව තුළ ඔවුන්ගේ වාසියට අණ පනත් සම්මත කරගෙන ගැසූ ඩීල් මිස මේ තරම් රටේ ගිනි ඇවිලී ගිය ඊයේ දිනයේ දී හෝ ජනතාවගේ ප්‍රශ්න පාර්ලිමේන්තුවේ කතා නොකළ බව ඔහු කීවේය. මේ රටේ මවුවරුන් පියවරුන් පාරට බැස ආණ්ඩුවට ගෙදර යන්නට කියද්දී ආණ්ඩුවට ඡන්ද 148ක කැමැත්තක් ආවේ කෙසේ දැයි ඔහු විමසුවේය.

“ජනතාවගේ පරමාධිපත්‍ය නියෝජනය නොවන පාර්ලිමේන්තුව හොඳයි ඒ හැත්ත බුරුත්ට ජිල් ගහන්න..“

“ ඊයෙ දවසේ මේ රටේ අම්මලා තාත්තාලා අපි ගැන බලපු විදිහ, කෑම බීම බලපු විදිහ, සෞඛ්‍ය පහසුකම්  බලපු විදිහ එක්ක අපිට තව මාසයක් වුනත් මෙතන ඉන්න පුලුවන්. “

“ඒ වගේම අවශ්‍යනම් බැරියර් ටිකත් ගලවාගෙන අපිට යන්න තිබුණා.  එහෙම කළේ නෑ. අද දවසට අදාලව අපි  හැරලා යනවා. ඒත් මේ අණ්ඩුව ඉවත්වෙන්න ඕන. ගෝටා ගෙදර යන්න ඕන. මහින්ද ගෙදර යන්න ඕන.  අපේ ප්‍රශ්නය විසඳන රටේ ප්‍රශ්නය විසඳන තීන්දුවත් එක්ක ඊලඟ දවසෙ වරෙල්ලා.  එතකම් ආණ්ඩුවට කල් දෙනවා. එදාට අපි එන්නෙ මේ රටේ අම්මලා තාත්තලා ලක්ෂ ගණනක් එක්ක. ඇවිත් උඹලගෙ ඔය ගුබ්බෑමට යන පාරවල් සියල්ල වටලනවා.“

අනතුරුව තරුණ සරසවි උද්ඝෝෂකයෝ ගෝල්ෆේස් ගෝඨාගෝගම පරිශ්‍රයට යෑමට පිටත් වූහ.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version