තත්ත්වය භයානයකයි! ඔක්සිජන් කළමනාකරණයේදී ඔළුව පාවිච්චි කරන්නැයි විශේෂඥ වෛද්‍යවරු කියති

ශීඝ්‍රයෙන් පැතිරෙන කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ තවත් නිසි සැලසුම් සහගත ක්‍රමෝපායයකට අනුගතව තවමත් බලධාරීන් ක්‍රියාත්මක වි නොමැති බවත් විශේෂයෙන් ඇතිවිය හැකි දැඩිසත්කාර සහ ඔක්සිජන් අවශ්‍යතාව කළමනාකරණයේදී මීට වඩා බුද්ධිමත්ව සැලසුම් සහගතව එය සිදු කළ යුතු බවත් ශ්‍රි ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවාධාරණය කරයි.

මාද්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය අවධාරණය කරන්නේ මෙරට නිපදවෙන ඔක්සිජන් නිෂ්පාදනය හදිසි ඉල්ලුමක් සපැරිීමට සෑමෙහන නමුත් එම අවශ්‍යතාව නිසි ලෙස කළමනාකරණය පිළිබඳව විධිමත් සැලසුමක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය කරුණක් වන බවය.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතී. මෙම සංඛ්‍යාවන් තවදුරටත් ඉහළ යාමේ අනතුරක් අප හමුවේ ඇත.

රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා පවතින දැඩි සත්කාර සහ විශේෂ ප්‍රතිකාර ඒකකවල ඇඳන් එහි සීමාවට පැමිණ ඇත. විශේෂඥයන් පෙන්වා දෙන ආකාරයට මෙම වෛරසයේ ඉතා ඉක්මනින් ආසාදනය වීමේ ස්වභාවය සහ වෛරසයේ ප්‍රබලත්වය මත ඔක්සිජන් සැපයුමේ සහ දැඩි සත්කාර සහිත ඇඳන්වල අවශ්‍යතාව වැඩි විමේ තත්ත්වයක් පෙන්නුම් කරයි.


එසේ වුවද මේ මොහොතේ, සිදුවීම් වලට මුහුණ දීම සඳහා කිසිදු ප්‍රායෝගික උපාය මාර්ගයක් අපට නොපෙනේ. අවාසනාවකට මෙන්, එවැනි දේ වළක්වා ගැනීම සඳහා අපගේ අසල්වැසි ඉන්දියාවෙන් පාඩම් ඉගෙන ගැනීමට අප අසමත් වී ඇති බව පෙනේ.

පුද්ගලයන් දහසක් අතරින් වාර්තා වන රෝග ආසාදිතයන් සංඛ්‍යාව පිළිබඳව සැලකීමේදී කොවිඩ් ආසාදිත සිද්ධීන් ගණන දැනටමත් භයානක සංඛ්‍යා කරා ළඟා වී ඇත. විශේෂයෙන් රෝග ලක්ෂණ පෙන්වන රෝගීන්ට රෝගය සඳහා ස්ථීර ලෙස ස්ථාපිත ප්‍රතිකාරයක් නොමැති බැවින් රෝග ලක්ෂණ ඉවත් වන තෙක් ඔවුන් කළමනාකරණය කිරීම අතිශයින්ම වැදගත්ය.

එහිදී ඔක්සිජන් සහ දැඩි සත්කාර ඒකකයේ සත්කාර ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි
එහිදී අඛණ්ඩ ඔක්සිජන් සැපයුමක් සමහ ඔක්සිජන් සැපයුම සහිත ඇඳන් අපේ රෝහල් පද්ධතිය වෙත සැපයීම සහතික කිරීම වැදගත්ම අංගයකි.
අපට පෙනෙන ආකාරයට සාපෙක්ෂව මූල්‍ය වශයෙන් ශක්තිමත් වුවද කලාපීය දැවැන්තයා වන ඉන්දියාව මේ වන විට ඔක්සිජන් හිඟය හේතුවෙන් විශාල දුෂ්කරතාවන්ට මුහුණ දී සිටී.

ඔක්සිජන් වඩාත් වැදගත් වෛද්‍ය අවශ්‍යතාවයක් ලෙස සලකන අතර ඒවා හිඟ වීමට ඉඩ ඇති බව පෙනී යයි. එබැවින් අර්බුදයක් ඇති වීම වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගත යුතුය.
අපගේ දැනුමට අනුව සෞඛ්‍ය සේවා සඳහා ඔක්සිජන් සපයන සමාගම් දෙකක් තිබේ. ඔවුන්ට පවතින පහසුකම් සහ හැකියාව මත ඔවුන්ගේ නිෂ්පාදන ධාරිතාව පහසුවෙන් තුන් ගුණයකින් වැඩි කළ හැකිය.මෙම සමාගම් දෙක දිනකට ඔක්සිජන් ටොන් 75 ක් පමණ නිපදවන අතර එයින් කොටසක් සපයනු ලැබේ.හදිසි අවශ්‍යතාවක් නිර්මාණය වුවහොත් ඔවුන් දැනට යොමු කරන කාර්මික භාවිතය සඳහා වන ඔක්සිජන් සැපයුමද සෞඛ්‍යයට හරවා යැවිය හැකිය
ඒ අනුව ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් සැපයුම් ප්‍රභවයක් ඇත.

කෙසේ වෙතත්, වඩා වැදගත් කාරණය වන්නේ මේවා අදාළ අවශ්‍යතාවන්ට අනුව බෙදා හැරීමයි. මෙම ඔක්සිජන් රෝගියාගේ ඇඳ අසලට යැවීමට ඇති හොඳම ක්‍රමය වන්නේ නළ මඟින් ඔක්සිජන් බෙදා හැරීමයි.
කුඩා සිලින්ඩර රැසක් භාවිතා කරනවාට වඩා මධ්‍යම ද්‍රව ඔක්සිජන් ටැංකියක ගබඩා කළ ඔක්සිජන් නළ මාර්ග ඔස්සේ යැවීම සාර්ථක ක්‍රමයයි.

අවාසනාවකට අපේ රෝහල් පද්ධතිය තුළ එවැනි මධ්‍යගත ද්‍රව ඔක්සිජන් ටැංකි ඇත්තේ 28 ක් පමණි. ඒවා ලීටර 3000 සිට 20000 දක්වා පරාසයක පවතින අතර ලීටර 20,000ක් ගබඩා කළ හැකි ඔක්සිජන් ටැංකි ඇත්තේ කොළඹ ජාතික රෝහලේ සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ පමණි. අනෙක් ඒවා සාපේක්ෂව කුඩා ය.

මේ තත්ත්වය මත සමඟ පද්ධතියට තවමත් බොහෝ දුරට ජම්බෝ සිලින්ඩර මත යැපීමට සිදුවේ. එය පරිහරණය සහ කළමනාකරණයද පහසු නැත. ඔක්සිජන් ගෑස් ලීටර් 7050 ක් නිපදවන ජම්බෝ සිලින්ඩරයක දියර ලීටර් 47 ක් රැගෙන යා හැකිය.

එම සිලින්ඩර හැසිරවීම පුද්ගලයන් දෙදෙනකුට වඩා අවශ්‍ය වේ. අධික ඔක්සිජන් සැපයුමක් මත යැපෙන රෝගියෙකුටද මෙම සිලින්ඩරයේ සෑහෙන්නේ පැය කිහිපයක් පමණි . එම කටයුතු සිදු කළ යුතු වන්නේ කොවිඩ් දැඩිව පැතිරීමේ අවදානම් සහිත පරිසරයක වීමේදී තත්ත්වය තවත් සංකීර්ණය.

එවැනි අවස්ථා කළමනාකරණය කිරීම සඳහා ඒ සම්බන්ධයෙන් විශේෂිත දැනුමක් සහිත පුද්ගලයන්ගේ සේවය අතිශයින්ම වැදගත්ය. මෙවැනි ඔක්සිජන් හදිසි තත්ත්ව යටතේ දී තනි රෝගියාට ලබා දීමට නිසැකවම බුද්ධිමත් සැලසුම් සහ අත්‍යවශ්‍ය වේ.

විශේෂයෙන් සැපයුම් සම්බන්ධීකරණය, ගබඩා කිරීම සහ කාර්යක්ෂමව බෙදා හැරීම සඳහා අදාළ විශේෂඥයන්ගේ සේවය ලබා ගත යුතු වන අතර මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණයෙන් බැහැර විය යුතු බවද ශ්‍රි ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම රජය විසින් මේ දක්වා ගෙන ඇති සාධනීය පියවර අගය කරන ශ්‍රි ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සෞඛ්‍ය බලධාරීන් වෙත අවධාරණ කරන්නේ අදාළ පියවර සදහා නිසි තීන්දු තීරණ ගැනීම සඳහා රජයට නිවැරදි දත්ත සහ තොරතුරු නොපැකිළව ලබා දීම මේ තීරණාත්මක මොහොතේ ඉතා වැදගත් වන බවය.

Exit mobile version