ඩොලර් හිඟය සත්ව ආහාරවලටත් බලපායි! … අගමැති කිව්වත් බැංකු ඩොලර් දෙන්න බෑ කියයි!

පසුගියදා අගමැතිවරයා ගේ ප්‍රධානත්වයෙන් පැවති ජීවන වියදම් පිළිබඳව අමාත්‍ය අනු කමිටුවේදී ඩොලර් අර්බුදය හේතුවෙන් වරායෙන් නිදහස් කර ගැනීමට නොහැතිව තිබෙන සත්ව ආහාර ද අත්‍යවශ්‍ය භාණ්ඩ ලෙස සලකා මුදා හරින ලෙසට උපදෙස් ලබා තිබුණද මෙම සත්තව ආහාර තොග නිදහස් කර ගැනීමට ආනයනකරුවන්ට බැංකුවලින් ඩොලර් ලබා දී නොමැති බව ආනයනකරුවෝ පවසති.

මේ තත්ත්වය මත සත්ව ආහාර සැපයුම සීමා වීම මත ඉදිරියේදී සත්ව නිෂ්පාදන අඩු වීම සහ මිල ඉහළ යාම සිදුවිය හැකි බවට සත්ත්ව ආහාර සහ අමුද්‍රව්‍ය ආනයනකරුවෝ පවසති.

මේ තත්ත්වය මත මේ වනවිට මෙරට සත්තව ආහාර කන්ටේනර් 300ක් පමණ වරායේ සිර වී ඇති බවත් මෙම භාණ්ඩ නිදහස් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 6ක් පමණ අවශ්‍ය වනු ඇති බවත් මෙම ආනයනකරුවෝ පැවසූහ.


ඔවුන්ට අනුව පසුගිය සඳුදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රමාණවත් ලෙස ඩොලර් නිකුත් කිරීමට නොහැකි වීම හේතුවෙන් වරායෙන් නිදහස් කර ගැනීමට තිබුණු අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් නිදහස් කර ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක් නිකුත් කිරීමට තීරණය කිරීමෙන් පසුව තමන් අදාළ බැංකු වෙත ගොස් ඩොලර් නිදහස් කර ගැනීමට උත්සාහ කළද එම මුදල් ලබා ගැනීමට ඔවුන්ට නොහැකි වූ බව මේ පිළිබඳව ලංකාසරට අදහස් දැක්වූ ආනයනකරුවෝ වදුරඑටත් පැවසූහ.

“ දැනට වරායෙ ඇමෙරිකානු ඩොලර් මිලියන 5ත් 6ත් අතර ප්‍රමාණයක් වටිනා සත්තව ආහාර සහ සත්ත්ව ආහාර නිෂ්පාදන අමුද්‍රව්‍ය ගෙනවිත් තිබෙනවා. මේ වනවිට රට තුළ සත්ත්ව ආහාර හිගයක් නිර්මාණය වෙමින් පවතිනවා. ඊට හේතුව දේශීය නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම. මේ නිසා කුකුළු මස්, බිත්තර වැනි ආහාර ද්‍රව්‍ය මිල වැඩිවීමට කෙරෙහිද මෙම ප්‍රශ්නය සෘජුවම බලපානවා.“

“අපි බැංකුවලින් ඩොලර් ඉල්ලුවාම ඒවා නිදහස් කරන්න උපදෙස් දීල තිබෙන්නේ ආහාර ද්‍රව්‍යවලට පමණයි කියනවා. නමුත් පැහැදිළිවම පසුගිය ජීවන වියදම් කමිටු රැස්වීම්දී මෙම සත්තව ආහාරත් මුදා හරින ලෙසට උපදෙස් දී තිබෙනවා. නමුත් අපට මේ වනවිට ගුදම් ගාස්තු සහ ප්‍රමාද ගාස්තු කෝටි ගණනක් ගෙවමින් තවදුරටත් ඒවා රඳවාගෙන සිටීමට සිදුව තිබෙනවා.“

“අනෙකක් අතින් අපගේ විදේශ සැපයුම්කරුවන් මේ ප්‍රමාදය නිසා මින් පසු මෙරටට භාන්ඩ නොඑවන අදහසක සිටිනවා. නමුත් මහ බැංකු අධිපතිවරයා තව මුදල් අවශ්‍ය නම් ඩොලර් නිදහස් කළ හැකි බව ප්‍රකාශ කර සිටියදීත් බැංකු එසේ කටයුතු කරනවා. “ යයිද සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව ලංකාසර සත්ව නිෂ්පාදන සම්බන්ධ රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත්ගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ මෙම සත්තව ආහාර නිදහස් කර ගැනීමට අදාල ඩොලර් ලබා දීමට මැදිහත් වන ලෙස වහාම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ස මහතා දැනුවත් කර ඔවුන්ට අදාල නිෂ්පාදන ලබා ගැනීමට අවශ්‍ය කටයුතු වහාම සොයා බලා කරන බවය.

Exit mobile version