ජී.ආර්. පෙරේරා දිවි සැරියෙන් සමු ගනී!

G.R

ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ පුරා දශක 05ක් රංගන පෙළහරක් පෑ නළුවෙක් වූ ජී. ආර්. පෙරේරා අද (01)උදෑසන දිවි සැරියෙන් සමු ගත්තේය.

කලක් රෝගාතුරව සිටි ඔහු මිය යනවිට 84 වැනි වියේ පසුවිය.

ජී.ආර්. පෙරේරා  රංගනයට හඳුන්වා දුන්නේ ඔහුගේ සමීප මිතුරෙකු මෙන්ම කීර්තිමත් නාට්‍යකරුවෙකු වූ තිස්ස අබේසේකර විසිනි. ඔහු රඟපෑ මුල්ම නාට්‍යය වූයේ සුගතපාල ද සිල්වා ගේ බෝඩිංකාරයෝ නාට්‍යයය. ඒ 1962 දී ය.

ජී.ආර්. පෙරේරා සිනමාවට එක් වන්නේ වර්ෂ 1971  ඩී.බී. නිහාල්සිංහ අධ්‍යක්ෂණය කරන ලද වැලිකතර චිත්‍රපටයෙන් සුළු භූමිකාවක් සමඟය. ඔහුගේ පළමු ප්‍රධාන චරිතය පැමිණියේ ඔහුගේ වෘත්තීය ජීවිතයේ දෙවන චිත්‍රපටය වන මැණික් සන්ඳරසාගර විසින් අධ්‍යක්ෂණය කරන ලද කළු දිය දහර චිත්‍රපටයෙනි.


ඔහු ඉන්දියානු, ඇමරිකානු සහ ජර්මානු චිත්‍රපට තුනක් ඇතුළත් විදේශීය චිත්‍රපට හයකට රංගනයෙන් දායක වී ඇත. 1980 දී ඔහු “කරුමක්කාරයෝ” චිත්‍රපටයේ චරිතය වෙනුවෙන් විචාරක සම්මානයක් දිනා ගත්තේය.

ඔහුගේ මංගල රූපවාහිනී රංගනය පැමිණියේ තිස්ස අබේසේකර අධ්‍යක්ෂණය කළ ‘‘තුන්කල් සිහිනය’’ කතාමාලාවෙනි. “දූ දරුවෝ” කතා මාලාවේ “මලකඩ බාස්” චරිතය ඔහුගේ ටෙලිනාට්‍ය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය විය. එතැන් සිට ඔහු ටෙලි නාට්‍යා  600ක පමණ  රංගනයෙන් දායක වී තිබිණි. මේ රටේ මිනිස්සු ඔහුගේ රංගනය ආදරයෙන් වැළඳ ගත්හ.

2007 දී ඔහු “චක්‍රායුදය” ටෙලි නාට්‍යයේ චරිතය වෙනුවෙන් හොඳම සහය නළුවාට හිමි සම්මානය දිනා ගත්තේය. රයිගම් ටෙලීස් හි වැඩිම ටෙලිනාට්‍ය සංඛ්‍යාවක රඟපෑම සඳහා ඔහු සම්මානයට පාත්‍ර විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජී. ආර්. පෙරේරා කලාකරුවානන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.

Exit mobile version