ජීවිත හයකට ජීවිතය දී ජීවිතයෙන් සමුගත් රත්තරන් දුව… උඹ මැරුණේ නෑ රත්තරන් පුතේ…

Wihangana

අනපේක්ෂිත රෝගී තත්ත්වයකින් හදිසියේ මිය ගිය කුරුණෑගල මලියදේව විද්‍යාලයේ  ඉගනුම ලැබූ 19 හැවිරිදි දියණියකගේ අවයව කොටස් 07කින් ජීවිතය අපේක්ෂා කළ පුද්ගලයින් 06 දෙනෙකුට ජීවිතය ලබා දීමේ උත්තම සිදුවීමක් වාර්තා වේ.

ජීවිත හතකට ජීවිතය දී ජීවිතයෙන් සමුගත් මේ උත්තම දියණිය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයෙන් උසස්පෙළ අධ්‍යාපනය ලබා මෙවර විභාගයට පෙනී සිටි විහඟනා ආරියසිංහය.

විහඟනාගේ පෙනහළු සහ හදවත අසාධ්‍ය තත්ත්වයේ සිටි නිර්වින්දන වෛද්‍යවරියක වෙත බද්ධ කර තිබිණි. මෙම අවයව දෙකම රෝගියෙක් වෙනුවෙන් එකවර බද්ධ කළ ප්‍රථම අවස්ථාව මෙය විය. මෙම සැත්කම සිදුකර තිබුණේ කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසිනි.

විහඟනාගෙන් ලබා ගත් වකුගඩු දෙක රෝගීන් අසාධ්‍ය වකුගඩු රෝගීන් දෙදෙනෙකුට සාර්ථකව බද්ධ කෙරිනි. තවද ඇයගෙන් ලබා ගත් අක්මාව සහ අක්ෂි පටල පුද්ගලයින් 03ක් වෙත බද්ධ කර තිබුණේය. මේ සියලුම සැත්කම් සාර්ථක බව වෛද්‍යවරු කීහ.


විහඟනා පදංචිව සිටියේ අඹන්පොල නගරයේය. ඇය දරුවන් තිදෙනෙකුගෙන් යුතු පවුලේ බාලම දරුවාය. ඇයට වැඩිමල් සොයුරෙක් සහ සොයුරියකි. සොයුරිය ද කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. ඇය දැන් වයඹ සරසවියේ ය.

සාමාන්‍ය පෙළ ඉහළින් සමත් වූ විහඟනා උසස්පෙළ සඳහා වාණිජ විෂය ධාරාව ඉංග්‍රීසි මාධ්‍යයෙන්   හැදෑරීමට කුරුණෑගල මලියදේව විද්‍යාලයට ඇතුළත් වූවාය. ඉගනීමට උපන් හැකියාවක් සහිත ඇය උසස්පෙළ විභාගයට සාර්ථක මුහුණ දී තිබුණාය.

මේ අතර ඇයට එක් වරම දැඩි හිසේ වේදනාවක් ඇති වී තිබිණි. නොනැවතී වමනය යන්නට විය. ප්‍රතිකාර සඳහා පසුගිය 17 වැනිදා ඇය ගල්ගමුව දිසා රෝහළට ඇතුළත් කරනු ලැබුවේය.

රෝගී තත්ත්වය බරපතල වීම හේතුවෙන් එදිනම දියණිය කුරුණෑල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරිනි. අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ඇය දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළේය.  සිහිය නොලබාම විහඟනා ජීවිතයෙන් සමුගෙන තිබිණි.

බාහිර රෝග ලක්ෂණ කිසිවක් රහිතව ඇයගේ මොළයේ පිළිකාවක් වර්ධනය වී තිබූ අයුරු වෛද්‍ය පරීක්ෂණවලින් හෙළි විය.

මරණයෙන් පසු මේ ආදරණීය දියණියේ උත්තම දෙමව්පියන් සහ සහ පවුලේ සියලු දෙනා ඇයගේ අවයව කොටස් දන් දීමට එකඟ වූයේය.

දැන් විහඟනා රත්තරන් දියණිය ජීවතුන් අතර නැත. නමුත් ඇයේ සිරුරු කොටස්වලින පණ ගැහෙන ජීවිත හතක හුස්ම වැටෙමින් තිබේ.

රත්තරන් මිනිස්සු මිය ගියත් නොමැරෙති. ඒ රත්තරන් දියණිය කිසිදාක මිය නොයන බව විශ්වාස කරමු.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දිනමිණ –

Exit mobile version