ජල සම්පාදන ලේකම් ප්‍රියත් බන්දුගෙනුත් ශාක සාර කොවිඩ් බේතක්

ඖෂධය ගැන පරීක්ෂණයට පහසුකම් ඉල්ලලා... කෑගල්ලේ ධම්මික වෙද මහතාගෙන් තවම යෝජනාවක් නෑ

ජල සම්පාදන  අමාත්‍යංශයේ ලේකම්  සහ හිටපු වරාය සභාපති අචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම, මෙරට ප්‍රමුඛ පෙළේ නව නිර්මාණකරුවකු වන ආචාර්ය හර්ෂ සුබසිංහ ඇතුළු කණ්ඩායමක් දේශීය ව ඇති  ශාකසාර කිහිපයක මිශ්‍රණයකින් කොවිඩ් මර්දනය සඳහා නිපදවන ලද ඖෂධයක් සම්බන්ධයෙන් පර්යේෂණ කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සහ පර්යේෂණ සංවර්ධන මූල්‍ය ප්‍රදානයක් ලබා ගැනීමට ජාතික පර්යේෂණ සභාවට යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

මෙම පර්යේෂණ කණ්ඩායමට ආචාර්ය සමන් කංකානම්ගේ සහ වෛද්‍ය ඒ.එල් ජාගොඩ ද අයත් වන වන අතර මේ බව අනාවරණය වන්නේ ජාතික පර්යේෂණ සභාවේ සභාපති විශේෂඥ වෛද්‍ය හේමන්ත දොඩම්පහල   විෂය භාර රාජ්‍ය අමාත්‍යවරිය වන කුසලතා සංවර්ධන, වෘත්තීය පුහුණු සහ නවෝත්පාදන පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹෙපොල වෙත යවන ලද ලිපියකිනි.

එම ලිපියට අනුව කෑගල්ලේ ධම්මික වෙද මහතා විසින් නිපදවන ලද ඖෂධය පිළිබඳව පර්යේෂණ කටයුතු සඳහා මෙතෙක් යෝජනාවලියක් නොලැබුණු බවත් දක්වා ඇත. එසේම ඉහත කී පර්යේෂණ යෝජනාවලියට අමතරව කොළඹ විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ ආචාර්ය නෙරංග අබේසිංහ ද කොවිඩ් 19 රෝගයෙන් වැලකීම සඳහා නිපදවන ලද ආහාරමය අතිරේකයක් පිළිබඳව පර්යේෂණ සිදු කිරීමට අදාළ යෝජනාවක් පර්යේෂණ සභාව වෙත ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වෛද්‍ය දොඩම්පහල අමාත්‍යවරිය වෙත තවදුරටත් මෙම ලිපියෙන් දක්වා ඇත්තේ කොවිඩ් 19 අර්බුදය හේතුවෙන් මූල්‍ය ප්‍රතිපාදන ලබා දීම දැඩි අභියෝගයක් වුවද මේ වනවිට එම සභාව කොවිඩ් 19 ආශ්‍රිත පර්යේෂණ ව්‍යාපෘති 09කට මේ වනවිට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට පියවර ගෙන ඇති බවය.

Exit mobile version