ජනාධිපතිවරයා  උපුටා දක්වපු ජේ.වී.පී. පරිසරවේදියෝ  “එෆ්බී“ ගිණුම “ෆේක්“…

ජේ.වී.පී.ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලිකරයි... වහාම විමර්ශනයක් අවශ්‍යයි ... අනුර කුමාර දිසානායක කියයි... 

ජේ.වී.පී පරිසරවේදියෝ ලෙස ව්‍යාජ ෆේස් බුක් ගිනුමකින් නිර්මාණය කරන බොරු ප්‍රවෘත්ති  උපුටා දක්වමින් රටේ ජනාධිපතිවරයාත් වගකීම් රහිතව තම පක්ෂයට චෝදනා කරන බවත් , අද (21) දිනයේ මෙම ගිණුම පිළිබඳව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා  බවත්  ජනතා විමුක්ති පෙරමුණේ  නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

‘ජේ.වී.පී. පරිසර වේදියෝ’  නැමැති මෙම ගිණුම ආරම්භ කළේ කවදාද? ආරම්භ කළේ කවුරුන් විසින්ද? එම ගිණුම මුදල් ගෙවා ප්‍රවර්ධනය කිරීමට උපයෝගී කරගෙන තිබෙන ක්‍රෙඩිට් කාඩ්පත කාගේ නමට තිබෙන්නේ දැයි එවිට සොයා ගත හැකි බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව නොවලහා පරීක්ෂණ ආරම්භ කළ යුතු බවත්  අනුර කුමාර දිසානායක වැඩිදුරටත් කීවේය.


“මේ පැමිණිල්ල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් යටපත් කරනවා නම්, පරීක්ෂණවල ප්‍රතිඵල සමාජයට ඉදිරිපත් කරන්නේ නැත්නම් ඉන් කියැවෙන්නේ එක දෙයක්. මේ ගිණුම ජනාධිපතිවරයාගේ ‘ගම සමග පිළිසඳරක්’ ව්‍යාපෘතියේදී යම් යම්  කරුණු ඉදිරිපත් කිරීමේ අරමුණින්ම ඔහුගේ දැනුවත්භාවයෙන් හෝ ඔහුගේ දේශපාලන කඳවුරේ දැනුවත්භාවයෙන් නිර්මාණය කරන ලද ව්‍යාජ ගිණුමක් බවයි.

වැරදි ප්‍රවෘත්ති ව්‍යාජ ගිණුමකින් නිර්මාණය කරලා එම වැරදි ප්‍රවෘත්ති ජනාධිපතිවරයා විසින් උපුටා දැක්වීමෙන් කියැවෙන්නේ ගරිල්ලා මාකටින් වැඩක් කියලා, අපිට සාධාරණ සැකයක් තිබෙනවා. පක්ෂයක ගිණුමක් යැයි හඟවමින් ජනාධිපතිවරයා සියලු මාධ්‍ය ඉදිරියේ කරන ලද මෙම ප්‍රකාශයට ජනාධිපතිවරයා වගකියන්න ඕනෑ ඒ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අප ඉදිරිපත් කරන පැමිණිල්ල කඩිනමින් විභාග කොට, සියලු විස්තර සමාජයට හෙළිදරව් කළ යුතුයි.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ව්‍යාජ  ෆේස් බුක් ගිණුමක් හඳුනා ගත නොහැකි ජනාධිපති මාධ්‍ය අංශය සම්බන්ධව කණගාටුවන බවත් අඩුම තරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හෝ ඇමතිවරයෙක් යොදවා මෙවැනි ප්‍රකාශ නොකර තමන්ම මෙවැනි කතා කීමට තරම්   ජනාධිපතිවරයෙක් මේ තරම් බංකොලොත් වීම ඛේදවචායකයක් බවත්  ජනතා විමුක්ති පෙරමුණු නායකයා වැඩි දුරටත් පැවසීය.

Exit mobile version