ජනපති අණ පිළිපැද ඇමති දිලුම් හෙටම බස්රථ සෝදයි ද?

ඉතා කුඩා ආරම්භයකින් ලොකු වෙනසක්කළ හැකි බවත් බස්රථ සෝදා පිරිසිදු කොට හෙට සිටම මගීන්ට අසුන්ගෙන යා හැකි ලෙස සකසන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි, මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්පිට උපදෙස් දුන්නේය.

එම අමාත්‍යංශයේ සහ ප්‍රවාහන කැබිනට් අමාත්‍යංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (18) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ උපදෙස් ලබා දුන්නේය.

මගීන්ට හොඳ මානසිකත්වයකින් බස් රථයේ හෝ දුම්රියේ ගමන් කිරීමට පසුබිම සකසමින් ප්‍රවාහන සේවාව නගාසිටුවීම අරඹන්නැයි ද ජනාධිපති වරයා එහිදී පැවසීය.


පෝස්ටර් ඇලවීම නතර කිරීමට ගත් කුඩා තීරණයෙන් රටේ සියලු නගර පවිත්‍රව තබා ගැනීමට හැකි වූ බව පෙන්වා දෙන ජනාධිපතිවරයා සෑම ක්ෂේත්‍රයකම සංවර්ධනය ඉතා කුඩා තැනකින් ඇරඹිය හැකි බවද පවසා ඇත.

එමෙන්ම මෝටර් රථයෙන් පැමිණ එය නතර කොට තබා බස් රථයෙන් සේවා ස්ථානයට ගමන් කිරීමේ ක්‍රමය (Park & drive) කඩිනමින් ක්‍රියාත්මක කර මාර්ග තදබදය විසඳීමේ අවශ්‍යතාව හෙතෙම අවධාරණය කළේය.

ගමනාගමන මණ්ඩලය බස් ධාවනය සේවාවක් ලෙස පවත්වාගෙන ගියද පාඩු නොලබන ආයතනයක් විය යුතු බවත් ග්‍රාමීය ප්‍රදේශවල බස් රථ ධාවනය පිළිබඳව රජයේ සහ පෞද්ගලික දෙඅංශයම අවධානය යොමු කළ යුතු බවත් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

“දුම්රිය සහ බස් රථ ඒකාබද්ධ සේවා සහ බස් රථ ඒකාබද්ධ ධාවන කාලසටහන නොපමාව පටන් ගන්න. ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා මූලිකව විසඳුම් දිය යුතු ක්ෂේත්‍ර හඳුනාගැනීම අවශ්‍යයි. ඉදිරි පස් වසර තුළ ප්‍රවාහන සේවාව නගාසිටුවීමට දිගු සහ කෙටිකාලීන සැලසුම් සකස් කළ යුතුයි. නියම කරගත් ඉලක්ක වෙත ළගා වෙනවාද යන්න විමර්ශනය කිරීම ඉතා වැදගත්” ජනාධිපතිතුමා පැවසීය.

ජනතාවට වඩා හොඳ සේවාවක් සැලසිය හැකි පරිදි දුම්රිය මැදිරි අලුත්වැඩියා කිරීමට ද තීරණය කෙරිණ. කොළඹ කොටුව සහ තවත් දුම්රිය ස්ථාන 04ක් ආදර්ශයක් ලෙස කඩිනමින් නවීකරණය කරන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා කීය.

ගමනාගමන මණ්ඩලයට අයත් පුහුණු සහ නඩත්තු ආයතනවල සේවය පෞද්ගලික අංශයට ද විවෘත කිරීමෙන් ලාභ ඉපැයීමට ඇති හැකියාව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා විසින් පෙන්වා දුන්නේය.

කාර්යක්ෂම මගී ප්‍රවාහන සේවාවක් සඳහා රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයටම පෙර ගෙවුම් කාඩ්පත් ක්‍රමය කඩිනමින් හඳුන්වාදීමට තීරණය කෙරිණ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දූෂණ සහ අක්‍රමිකතාවන්ගෙන් තොර ආයතනයක් බවට පත් කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය.

හොඳ තත්ත්වයේ ඇති සාමාන්‍ය බස් රථ අධිවේගී මාර්ගයේ ධාවනයට එක් කිරීමෙන් අඩු මුදලකට මගීන් විශාල පිරිසකට ගමන් පහසුකම් සැලසීමේ හැකියාව ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්.ආර්. ආටිගල, ප්‍රවාහන ලේකම් එන්.බී. මොන්ටි රණතුංග යන මහත්වරු සහ ප්‍රවාහන අමාත්‍යාංශය සහ රාජ්‍ය අමාත්‍යාංශ යටතේ ඇති ආයතන ප්‍රධානීහූ, පෞද්ගලික බස් සංගම් නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

Exit mobile version