ජනපති – අගමැති දෙදෙනාම ඉවත් කරන්නට විපක්ෂයේ සියලු පක්ෂ හා පොහොට්ටුවෝ පිරිසක් එක් වෙති…

ජනාධිපති අගමැති දෙදෙනාම ඉවත් වී වැඩ බලන ජනාධිපතිවරයෙක් යටතේ කෙටි කාලයකට සර්ව පාක්ෂික ආණ්ඩුවක් පත් කර ගැනීමට ඉඩ සලසා දෙන මෙන් ඉල්ලා සිටීමට ආණ්ඩුවේ මන්ත්‍රීවරු පිරිසක් හා  විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය කර ඇත.

නිශ්චිත කාලසීමාවකට  පිහිටුවනු ලබන සර්ව පාක්ෂික ආණ්ඩුවට හවුල්වන  සියලු දෙනාගේ සහභාගීත්වය යටතේ ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙළකින් පසු මහා මැතිවරණයක් පවත්වා තමන් කැමති ආණ්ඩුවක් පිහිටුවා ගැනීම මෙහි අරමුණ වී ඇති බව මේ සම්බන්ධව කටයුතු කරන  මන්ත්‍රීවරු හා දේශපාලන පක්ෂවල පොදු එකඟතාවය වී  තිබේ.

මහා සංඝරත්නය හා අනිකුත් ආගමික නායකතුමන්ලාගේ  ද එකඟත්වය ඇතිව ඉදිරිපත් කරන මෙම යෝජනාවට ජනාධිපති හා අගමැතිවරයා එකඟ නොවන්නේ නම්  ඔවුන් එම ධුරවලින් ඉවත්වන තෙක් ජනතාව සමග එක්ව උද්ඝෝෂණ වැඩ වර්ජන ඇතුළු ප්‍රජාතන්ත්‍රීය ක්‍රියා මාර්ග රැසක්  ක්‍රියාත්මක කරන  බව සමගි ජන බලවේගයේ ප්‍රකාශකයෙක්  ලංකාසරට අනාවරණය කළේය.

ජනතා විමුක්ති පෙරමුණ , සමගි ජන බලවේගය හා ඊට අනුබද්ධිත පක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක්  මෙන්ම දැනට පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටින මන්ත්‍රීවරු, වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන ගණනාවක් මෙම වැඩපිළිවෙළ සමග එක්ව සිටින බව එම මන්ත්‍රීවරයා සඳහන් කළේය.


රට මුහුණ පා ඇති අර්බුදයට වත්මන් ජනාධිපති හෝ අගමැතිට විසඳුම් නැති බව මේ වනවිට ඔප්පු වී ඇති බවත් එවැනි පසුබිමක ඔවුන් තවදුරටත් තබා ගැනීමෙන් සිදුවන්නේ රට අගාධයට පත්වීම බවත්  එම මන්ත්‍රීවරයා සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එවැනි පසුබිමක අද කළ යුතු ප්‍රමුඛ කාර්යය වන්නේ හදිසි මහා මැතිවරණයක් කැඳවීම වුවත් රට මුහුණ පා ඇති වත්මන් තත්ත්වය ඉදිරියේ එය කළ නොහැකි නිසා රට ස්ථාවරවන තෙක් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා  වත්මන් අර්බුද යම් ප්‍රමාණයකින් සමනය කිරීමෙන් පසු හදිසි මහා මැතිවරණයකට ගොස් එම අවස්ථාව ජනතාවට ලබා දීම තවත් අරමුණක් වී ඇත.

Exit mobile version