ජනපතිගේ ප්‍රධානත්වයෙන් මිහින්තලා පින් බිමේ නවකම් ඇරඹේ…

ඓතිහාසික මිහින්තලා පුදබිමේ මිහිඳු මහා සෑය, මිහිඳු ලෙන් සෙනසුන සහ ධාතු මන්දිරය ප්‍රතිසංස්කරණ කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඇරඹිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මිහිඳු මහා රහතන්වහන්සේ පිරිනිවන් පෑ දවස සිහිගන්වන 2280 වැනි මිහිඳු පුර අටවක පොහොය (23) දින යෙදී තිබිණ. එය නිමිත්තෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි  (24) දා පස්වරුවේ   කිරිබත්ගොඩ
ඥානානන්ද නාහිමියන් ප්‍රමුඛ මහා මෙව්නා භාවනා අසපු සංචිතයේ දායකත්වයෙන් ප්‍රතිසංස්කරණ වැඩ ආරම්භ කරනු ලැබීය.

මිහින්තලා පුද බිමට පැමිණි ජනාධිපතිතුමා ධාතු මන්දිරය වැඳ ආශිර්වාද ලබා ගත්තේය. ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ හා මිහිඳු මහරහතන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති ශෛලමය කරඬුව ක්‍රි.පු 03 වන සියවසට අයත් බව සැලකේ. බැතිමතුන්ගේ වන්දනාමාන පහසුවට සුදුසු පරිදි ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති මන්දිරය ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළහි එක් අදියරකි.


මිහිඳු මහරහතන් වහන්සේගේ පළමු පාදස්පර්ශය සිදුවූ ස්ථානය සේ සැලකෙන “චන්ද්‍රකාන්ති පාෂණය” පිහිටි සේල චෛත්‍ය මළුවේ ඉදිකෙරුණු මිහිඳු පිළිරුව ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණ.
ක්‍රි.පූ 200-210 අතර කාලයේ රජ කළ දෙවනපෑතිස්ස රජතුමාගේ බාල සොහොයුරු උත්තිය රජු මිහිඳු මහ රහතන් වහන්සේගේ භෂ්මාවශේෂ වලින් කොටසක් නිධන් කොට මිහිඳු මහා සෑය ඉදිකළ බව මහා වංශයේ සඳහන් වේ. මෙරට ඇති සෑ රදුන් අතරින් පැරණිතම චෙත්‍යයක් ලෙස මිහිඳු මහා සෑය සලකනු ලැබේ.

දීර්ඝ කාලයක සිට නටඹුන්ව ඇති මිහිඳු මහා සෑය පෞරාණිකත්වය ආරක්ෂා වන අයුරින් ප්‍රතිසංස්කරණය ඊයේ (25) ආරම්භ විය. 2014 වසරේ වැඩ ආරම්භ කරන ලදුව, 2015 වසරේ සිට ඇණ හිට තිබූ ධර්මශාලා මන්දිරයේ ඉදිකිරීම් ද ප්‍රතිසංස්කරණ වැඩසටහනට සමගාමීව සිදු කෙරේ. පූජ්‍ය පැල්පොල විපස්සි හිමියෝ ඊට දායකත්වය සපයති. සියලු ඉදිකිරිම් ලබන පොසොන් පොහොයට පෙර අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

මිහිඳු මහ රහතන් වහන්සේ භාවනානුයෝගීව වැඩ හිදි බවට විශ්වාස කෙරෙන මිහිඳු ගුහාව හෙවත් මිහිඳු ලෙණ පිහිටි ස්ථානයට ළඟාවීමට ඇති මාර්ගයේ ශෛලමය පිය ගැට පෙළ ඉදිකිරීම ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ සිදු කෙරේ. ශ්‍රී ලංකා යුද හමුදාව සහ නාවික හමුදාව ශ්‍රම දායකත්වයෙන් ඊට සහාය වෙති.

මිහිඳු මහා සෑය වැඳ ආශිර්වාද ගත් ජනාධිපතිතුමා සෑ රදුන් අභියස පැවති ආගමික උත්සවයට සහභාගී විය. එහිදී අනුශාසනා කළ ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි, ජපානය ඇතුළු අග්නිදිග ආසියාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පැල්පොළ විපස්සී හිමි සහ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණවංශ පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි නිදහස් පරිසරයක් සහිත සංවර්ධිත රටක් ගොඩනැගීමට ජනාධිපතිතුමාට සහාය විය යුතු බව සඳහන් කළහ.

 

Exit mobile version