ජාතික ජන බලවේගයේ විශ්‍රාමික හමුදා නිලධාරීන් බ්ලැක් ලිස්ට් කළ හේතුව ආරක්ෂක රාජ්‍ය ඇමති කියයි!

කිසිදු විශ්‍රාමික හමුදා නිළධාරියෙකුට දේශපාලනයේ යෙදීම සම්බන්ධයෙන් ගුවන් හමුදාව හෝ යුද හමුදාව මඟින් තහනමක් පනවා නොමැති නමුත් රාජ්‍ය ආරක්ෂාවට, රටේ යථා පැවැත්මට හා හමුදා නිළධාරීන් අතර විනය පවත්වාගෙන යෑමටත් නොහැකිවන අන්දමේ ක්‍රියාකාරකම් සඳහා ඉඩක් නොමැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්  කියා සිටියේය.

විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා අසාදුලේඛනගත කිරීම සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විමසූ පැනයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ව්‍යවස්ථාවේ 15.8 අනු ව්‍යවස්ථාව යටතේ සක්‍රීය සේවයේ නියැලෙන හමුදා නිළදාරීන්ගේ අයිතීන් සීමා කර තිබෙන බවත් විශ්‍රාම ගිය පසු එම සීමා ඉවත් වන බවත් අමාත්‍යවරයා පැවසීය.

එහෙත් විශ්‍රාම යෑමෙන් පසු සක්‍රීය නිළධාරීන්ට දැඩි බලපෑමක් කළ හැකි නිළධාරීන් සිය පෞද්ගලික දේශපාලන මතවාද හා දේශපාලන පක්ෂයේ කටයුතු සම්බන්ධයෙන් සේවයේ නියුතු පුද්ගලයින් හා සාකච්ඡා කිරීමට අවසරයක් නොමැති බව ද ඔහු පෙන්වා දුන්නේය.

එයාර් මාර්ෂල් සම්පත් තුයියකොන්තා   අසාදු ලේඛනගත කරමින් ගුවන් හමුදා කඳවුරට පිවිසීම තහනම් කිරීමට හේතු වූයේ ඔහු ගම්පහ පැවති දේශපාලන රැලියක් අතරතුරදී ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන හා ගුවන් හමුදාවේ ප්‍රතිරූපය හා විනයට හානි වෙන අන්දමේ කතාවක් කිරීම බව ද අමාත්‍යවරයා පැවසීය.


“සම්පත් තුයියකොන්තා   මීට පෙර රැස්වීම්වල කරපු කතා ගැන ප්‍රශ්නයක් නෑ.. ප්‍රශ්නය මතුවුණේ ගම්පහ රැලියේ කරපු කතාව.. ඔහු අසාදු ලේඛන ගත කළේ දේශපාලන පළිගැනීමක් විදියට නෙමෙයි. රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධ අභ්‍යන්තර ස්ථාවර කමිටුවක් මඟින් එම තීරණය ගත්තේ.  ඒකට කිසිම දේශපාලන බලපෑමක් නෑ. ගුවන් හමුදා කඳවුරට ඇතුල්වීම තහනම් කරමින් නියෝග නිකුත් කරන්න සම්පූර්ණ අයිතිය ගුවන් හමුදාවට තියෙනවා. එතෙන්දී අදාළ නිළධාරියාගෙන් ප්‍රශ්න කරන්න හෝ හේතු දක්වන්න කිසිම නෛතික අවශ්‍යතාවයක් නෑ.

ඔබේ පක්ෂයේ විශ්‍රාමික නිලධාරීන් කටයුතු කරනවා කියලා දන්නවා. ඒවා ප්‍රශ්න නෙමෙයි.. ඔවුන්ගේ කතාවන්වලින් සක්‍රීය සේවයට හෝ එම නිලධාරීන්ට බලපෑම් සිදු නොවෙන්නයි ඕනේ. ඒ නිළධාරීන් අතරින් සම්පත් තුයියකොන්තාට හා අරුණ ජයසිංහ අසාදු ලේඛනගත කළේ කිසිම දේශපාලන හේතුවකට නෙමෙයි..”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දේශපාලනය හා හමුදා සේවය බෙදා වෙන් කර තියා ගනිමු යැයි මෙහිදී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යොජනා  කළේය.

Exit mobile version