චීන එන්නතට බෑ කීව වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දුත් ඉවතට

ජාතික ඖෂධ නියාමන අධිකරියෙන් විසි වූ හත් වැනි අධ්‍යක්ෂ

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ කීර්තිමත් වෛද්‍යවරයකු වන ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතාද එයින් ඉවත් කිරීමට දේශපාලන බල අධිකාරිය කටයුතු කර ඇත.

ඔහුගේ සේවය ජාතික ඖෂධ නියාමන අධිකාරියට තවදුරටත් අවශ්‍ය නොවන බව පවසමින් විෂය භාර අමාත්‍යවරිය වන පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් පසුගිය 01 දා දාතමින් වෛද්‍ය ප්‍රනාන්දු වෙත ලිපියකින් මේ බව දන්වා එවා ඇත.

චීනයේ නිෂ්පාදිත සිනෝෆාම් කොවිඩ් එන්නත ප්‍රමාණවත් විද්‍යාත්මක දත්ත නොමැතිකමින් අනුමත නොකිරීමේ ප්‍රශ්නය මුල්කරගෙන මේ වනවිට ජාතික ඖෂධ අධිකාරියේ කටයුතු කළ අධ්‍යක්ෂවරුන් 13 දෙනාගෙන් හත් දෙනකු ඉවත් කොට හෝ ඉවත් වී තිබේ.


මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ කලාපීය විශේෂ නියෝජිතයකු ලෙස කටයුතු කරන වෛද්‍ය පාලිත අබේකෝන් මෙන්ම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස ක්‍රියා කළ මහාචාර්ය අසිත ද සිල්වා ද වෙයි.

ඔවුන් ඉවත් කිරීමෙන් අනතුරුව රජයට දේශපාලනමය වශයෙන් හිතවත්කමක් දක්වන වෛද්‍ය සිසිර සිරිබද්දන වැඩ බලන සභාපතිවරයා ලෙස පත් කොට ගෙන නව අධ්‍යක්ෂවරුන් පත් කර මෙම එන්නත අනුමත කර ගැනීමට කටයුතු කළද එම අවස්ථාව වනවිටත් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස සිටි විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා මෙම එන්නතේ සාර්ථක අසාර්ථක භාවය පිළිබඳව අපට ප්‍රාමාණික විද්‍යාත්මක දත්ත ලබා දී නොමැති පදනමක් තුළ එම එන්නත අනුමත කිරීම නුසුදුසු බවට දැඩි සේ කරුණු දක්වා ඇත. ඔහුට අමතරව මේ සම්බන්ධයෙන් විරෝධය දක්වා ඇති අනෙක් වෛද්‍යවරයා වන්නේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමයි.

මෙම වෛද්‍යවරුන් දෙදෙනාම වෛරස මඟින් බෝවන රෝග කළමනාකරණයේ සුවිශේෂ දක්ෂතා සහිත වෛද්‍යවරුන් දෙපළක් ලෙස මෙරට වෛද්‍ය ප්‍රජාව තුළද කීර්තියක් අත්කරගෙන ඇති වෛද්‍ය දෙපළකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංගමයේ නියෝජිතයා ලෙසින් සහභාගී වූ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු 1997 වසරේ ත්‍රිත්ව එන්නත ආනයනය කිරීමේදී භාවිතයට නුසුදුසු එන්නතක් ගෙන්වීම සම්බන්ධයෙන් විශාල හඬක් නැගූ වෛවද්‍යවරයකුද වේ. මේ වනවිට මීගමුව රෝහලට සම්බන්ධව ක්‍රියා කරන වෛද්‍ය ලක්කුමාර් ඩෙංගු රෝග කළමනාකරණයේද හසළ අත්දැකීම් ඇත්තකු ලෙසින් සැලකේ.

Exit mobile version