චීනුන්ට පමණයි කී විවාදිත එන්නත මෙරට ජනතාවටත් දෙන්න යයි!

වයස් කාණ්ඩ ගැන තීරණය විශේෂඥ කමිටුවට

චීනයේ නිෂ්පාදිත සිනෝෆාම් එන්නත චීන ජාතිකයන්ට ලබා දීමෙන් පසුව දිය යුත්තේ මෙරට ජනතාව අතරින් කවර වයස් කාණ්ඩයටදැයි නිර්දේශ කිරීම සෞක්‍ය අමාත්‍යංශ විශේෂඥ කමිටුව විසින් සිදු කරනු ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අද ප්‍රකාශ කිරීමත් සමඟ මෙම එන්නත සම්බන්ධයෙන් රාජ්‍ය බලධාරීන් ක්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

ඊට හේතුව වන්නේ පසුගියදා මෙම එන්නත කිසිදු ආකාරයකින් මෙරට ජනතාවට ලබා නොදෙන බවට රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් සිදු කරන ලද ප්‍රකාශයත් සමඟිනි.

මෙම එන්නත සම්බන්ධයෙන් මේ වනවිට මෙරට වෛද්‍ය අංශ තුළ දැවැන්ත ආන්දෝලනයක් මතුව ඇති අතර එයට ප්‍රධාන හේතුවක් වන්නේ මෙම එන්නත ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුව ප්‍රමාණවත් විද්‍යාත්මක දත්ත නොමැතිවීම හේතුවෙන් මෙරට භාවිතයට නුසුදුසු බවට නිර්දේශ කිරීමය.


පසුව නව අධ්‍යක්ෂ මණ්ඩලයක් හරහා එම එන්නත සුදුසු බවට අනුමත කිරීම සමඟ ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වයයි.ඒ අනුව මුලින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය මෙම එන්නත සඳහා අනුමැතිය ලබා දුන්නේ බැහැර නොකිරීමේ පදනම මත වන අතර ඒ අනුව එය මෙරට රැඳී සිටින චීන ජාතිකයන්ට පමණක් ලබා දීම සඳහා අදාළ අනුමැතිය ලැබිණ.

මෙම එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්ද අනුමත නොකළ එකක් වන අතර පසුගියදා ශ්‍රි ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංසදයද මෙම සිනෝෆාම් එන්නත අත්තනෝමතික ලෙසින් අනුමත කිරිම පෙර නොවූ විරූ සිදුවීමක් ලෙස හෙළා දැක තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එවැනි තත්ත්වයක් පවතිද්දී අද වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කර ඇත්තේ මෙම චීන එන්නත ලබා දිය යුත්තේ කවර වයස් කාණ්ඩවල අයටද යන්න පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ කමිටුව විසින් නිර්දේශ කරනු ලබන බවයි. ඒ අනුව චීන ජාතිකයන්ට එන්නත ලබා දීමෙන් අනතුරව මෙම විශේෂඥ කමිටුව විසින් ලබා දෙන නිර්දේශවලට අනුකූලව මෙම එන්නත මෙරට ජනතාවට ලබා දීමට කටයුතු කරන බවය.

Exit mobile version