ඝාතනය කළ ඇමරිකානු කලු ජාතිකයාගේ අවමංගල්‍ය වියදම ලෝක හෙවිවේට් බොක්සිං ශූරයා බරාගනී…

සදෙව් රත්නායක –

අමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීමේදී එක්තරා පොලිස් නිලධාරියකු අතින් ඝාතනයට ලක්ව ලොව පුරා මහා ආන්දෝලනයකට තුඩු දුන් ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවමංගල උත්සවයේ සියළු වියදම් දැරීමට හිටපු හෙවිවේට් බොක්සිං ශූර ෆ්ලොයිඩ් මේවෙදර් ඉදිරිපත්වී සිටී.

ඊට ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ පවුලේ සාමාජිකයන්ගේ ද කැමැත්ත පළවී ඇති අතර අවමංගල උත්සවය සහ ඊට අදාළ සියළු වියදම් මේවෙදර් විසින් දරනු ලබයි. මේවෙදර්ගේ ප්‍රවර්ධන නිලධාරී ලෙනාර්ඩ් එලේබර් විසින් එම නිවේදනය ප්‍රකාශයට පත් කරනු ලැබීය.මේ මස 9 වැනිදා ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ උපන් බිම වන හූස්ටන් පළාතේදී එම අවමංගල උත්සවය පැවැත්වීමට නියමිතය.

අවමංගල උත්සවයට සමගාමීව මිනසෝටා ප්‍රාන්තයේ සහ උතුරු කැරෝලිනාවේ ද තවත් අවමංගල උත්සව දෙකක් පැවැත්වීමට නියමිත අතර  එහි පූර්ණ වියදම ද මේවෙදර් විසින් දරනු ලබන බවට නිවේදනය කර තිබේ.


බොක්සිං වළල්ලේ ප්‍රධාන තරග 50කට පසුව ක්‍රීඩාවෙන් සමුගත් මේවෙදර් බර පන්ති 5ක් යටතේ ශූරතා දිනාගනිමින් එවැනි දස්කමක් පෑ එකම ක්‍රීඩකයා ලෙස වාර්තාපොතට එක්විය. ලාස්වේගාස් නුවර පදිංචිව සිටින මේවෙදර් ඝාතනයට ලක්වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් සමග කිසිදු ඇසුරක් නොපවත්වා ඇති අතර ඔහුගේ පවුලේ සාමාජිකයන් ද මෙතෙක් හමුවී නොමැත. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කළු ජාතික නිරායුධ මිනිසකු එසේ පොලිසිය විසින් ඝාතනයට ලක් කරනු ලැබීම මේ වනවිට ලොව පුරා මහා ආන්දෝලනයකට තුඩු දෙන සිදුවීමක් බවට පත්වී ඇති අතර අමෙරිකාවේ මෙන්ම බොහෝ රටවල ඒ සම්බන්ධව විශාල වශයෙන් උද්ඝෝෂණ පැවැත්වේ. 

 

Exit mobile version