මව්බිමේ වේදනාව ලෝකයේම වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට දැනෙමින් තිබේ. තමන් විසින් ගුවන් යානා කුලියට ගෙන පැමිණ බලය ලබා දී යහපත් රටක් හදනු ඇතැයි ප්‍රාර්ථනා කළ මිනිසා රට මහා අගාධයකට දැමූ බව තේරෙන විට ඔහුට ගෙදර යන ලෙස බල කර සිටීමේ ශුද්ධ වූ අයිතියක් ඒ මිනිසුන්ට ඇත.
ඔහුව පත් කිරීමට මුල් වුණ ප්‍රාර්ථනාවත් ඔහුට ගෙදර යන්න යැයි කරන වේදනාත්මක යෝජනාව අතර අන්තරය බෙහෙවින්ම විසාලය. නමුත් ඒ සඳහා ඔවුන් තුළ ඇති වුණ හැඟීම එකම මූලයකින් පැනෙන්නකි. ඒ මාතෘ භූමිය වෙනුවෙන් උපන් ආදරය ය.
මේ මොහොතේ සීතල ලන්ඩනය ලංකාවේ මිනිස්සුන්ගේ බඩගින්න, පීඩනය, අන්ත අසරණ දුගී භාවය සම්බන්ධව ඉපදුන සංවේදනාවන්ගෙන් උණුසුම් වී ඇත.
ලන්ඩන් නුවර මාබලාර්ජ්වලට ලාංකිකයෝ දහසකට අධික පිරිසක් එක් වී සිටිති. සමහරුන් පැමිණ අත්තේ කිලෝමීටර දෙසීය දෙසීය පනහ දුර ගෙවා දමමිනි. වට්ස්ඇප් කණ්ඩායමක පල කළ එක් දැන්වීමක් මේ ජන සන්නිපාතය මාබලාජ්වලට ගෙන්වීමට සමත් වී තිබේ.
විශේෂත්වය වන්නේ මේ පිරිස කිසිම දේශපාලන පෙළඹවීමකින් රැස්වුණු කණ්ඩායමක් නොවීමය. ඔවුන් පැමිණ ඇත්තේ රටේ සිහින සැබෑ කරන්නට පත් කරගත් පුද්ගලයා ඒ සිහින කුඩු පට්ටම් කළ පසු නැවත ගෙදර යන්නැයි කියන්නටය. මේ මිනිසා පත් කරගැනීම සඳහා ඔවුන් එකතු වූයේත් මේ වැනි හැඟීමකින් වීම දෛවෝපගතය.මේ මිනිසුන් ලන්ඩන්හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරියට ආවේ හදිසි නීතිය දමා, අනතුරුව ඇඳිරි නිතිය ක්‍රියාත්මක කර, ඇඳිරි නීතිය අතරේ විශේෂ ගැසට් නිවේදනයක් මගින් නිවසින් එළියට බහින්නට තහනම් කළ අපේ රටේ මිනිස්සුන්ට පාරට බැස කියන්නට නුදුන් කතාව ලෝකයට ඇහෙන්නට කියන්නටය.
මේ මහා ජනසන්නිපාතය මාබලාර්ජ්හි සිට පා ගමනින් ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය වෙත පැමිණියහ. පැමිණ තමන්ගේ මාතෘ භූමියට කර ඇති ව්‍යසනය හොඳටම ඇති බව සිය උද්වේගකර හැඟීමෙන් ප්‍රකාශ කළහ. ඒ හඬ ලෝකයට ඇසිනි. මේ ඒ හඬය…