මනම්පිටිය නිමල් ජයරත්න –
ගොයමට අවශ්‍ය ශාඛ පෝෂක නිසි ආකාරයට ලබා නොදී යුද හමුදාව කුඹුරුවලට බස්සා අස්වනු ලබා ගැනීමට උත්සාහ කිරීමේ ගොං ජෝක් නොකර ලෙසත්, තමන්ගේ කුඹුරුවලට හමුදාව බලහත්කාරයෙන් බස්සන්නට උත්සාහ කරන දිනයේ දී සිවිල් ගොවියාගේ ශක්තිය කුමක්දැයි කාට කාටත් හඳුනා ගැනීමට හැකි වනු ඇති බවත් දැනුම් දීමේ මාධ්‍ය හමුවක් ඇලහැර ගොවිජන ව්‍යාපාරයේ මඩුදමන ප්‍රදේශයේ දී අද (14) පැවත්විණි.
මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණේ ඇලහැර ව්‍යාපාරයේ රාජ්‍ය ගොවිසංවිධාන 41 ගොවීන් එක්වී නිර්මාණය කරගත් ඇලහැර ගොවිජන එකමුතුව මඟිනි.
මෙහිදී මූලිකව අදහස් දැක්වූ ඇලහැර ගොවිජන එකමුතුවේ කැදවුම්කරු මදුර ශ්‍රීපාලි පියරත්න පැවසුවේ මේ රටේ ගොවිජනතාව ගොවිතැන් කිරීමට දන්නා බවත් පොහොර නොදී හමුදාව කුඹුරට බස්සා පලදාව ගත හැකි යැයි ආණ්ඩුව සිතනවා නම් එය බිහිසුණු විහිළුවක් බවත්ය.
ඔහු මෙසේ ද පැවසුවේය.
” ගොවීන්ගේ සහයට හමුදාව කුඹුරට ”
මේක සෙල්ලමක් නෙවේ. මේ හදන්නේ අපිට ගොවිතැන නැති කරන්න. සෞඛ්‍ය සේවකයෝ ඔච්චර ඉද්දි වසංගතේට දැම්මෙත් හමුදාව. රටේ හැම එකකටම දැන් හමුදාව දාන්න හදන්නේ. අපි දන්නවා ගොවිතැනේදි ගොයම් ගහක් හැදෙන්න පොළොවේ පස් විතරක් නෙමේ නයිට්රජන්, පොස්පේට්, හිරු එළිය, මේ වගේ දේවල් ඕනි. දැන් ඒවා නැතිව බෝගයක් හැදෙන් නෑ. ඉතිං දැන් යල කන්නේ හමුදාවෙන් නිළධාරියෙක් අපේ කුඹුරුවලට දැම්මට පස්සේ ඒ දේවල් ඉබේ ලැබෙනවද?.
මේවා ගොං ජෝක්. මේ සැරේ ඇලහැර විතරක් නෙමේ පොලොන්නරුවේ වී අස්වැන්න සියයට 70 කට වඩා අඩුයි. දැන් හමුදාවෙන් දාලා කුඹුරු කරා කියලා අස්වැන්න වැඩි වෙයිද?.
අපේ කුඹුරු ටිකත් සමාගම් වලට දෙන්න හදන කුමන්ත්‍රණයක් මේක, පොහොර සහනාධාරය සහමුලින් කප්පාදු කරලා දැන් ගොවිතැන විනාශ කරලා වී මිල රුපියල් 90 යි 100 යි කිව්වට වැඩක් නෑ.
යෙදවුම් වල ගාණ අහස උසට ගිහින්. යූරියා කිලෝ පහක් 2500 යි. ඒකත් හොයාගන්න නෑ. එකක් කියනවා. අපි අපේ කුඹුරු වලට බලහත්කාරයෙන් හමුදාව දාන්න ආවොත් අපි අපේ බලය එදාට පෙන්නන්න සූදානම්. මේ පාලකයොන්ට.
තව එකක්… හැමදේටම හමුදාව යොදවන්න බෑ. එහෙම මහවැලි නිලධාරීන්, ගොවිජන සේවා නිලධාරීන් ඉද්දි හමුදාව යොදවලා මොකක්ද මේ හෑල්ලු කරන්න හදන්නේ කියලා අපි අහනවා.
අපි ආයෙත් කියනවා අපේ කුඹුරු අපි හොදට කරන්න දන්නවා. සුදුසු පොහොරක් දෙන්න. ගොවිතැන කරන්න අපිට කාගෙවත් සහායක් ඕනී නෑ තෙල් පොහොර ටික තිබිලා, අපේ අස්වැන්නට හොද මිලක් තිබ්බනම්.”
කහටගහපිටිය බෙඳුම් ඇල ගොවිසංවිධානයේ එම්.යූ.ජී.විජයසිරි සේනාරත්න
“ඇලහැර කුඹුරු තාමත් මහ බණ්ඩිය නෑ. වෙනදට මේ වෙද්දි පීදුම් හමාරයි. අපිට දැන් පේනවා අස්වැන්නේ හැටි. රසායනික පොහොර ටික තිබ්බනම් වෙනදට අපි අක්කරයකින් වී බුසල් 100 ක් ගන්නවා, මෙදා වී බුසල් 25 ක් ගන්න වෙන් නෑ. ඉස්සර වී කරලක වී ඇට 220 ක් විතර තිබ්බා. ඒත් අද වී ඇට 20 ක් නෑ. ඉතිං අක්කරයකට රජය දෙන්න යන වන්දිය ඇතිද?. විනාශ උනු අක්කරයට ලක්ෂයක වන්දියක්වත් ඕනී. අක්කරයක් හාන්න 12000 ක් විතර ගියා. රජයෙන් දුන්නු පොහොර ගැහුවට හැදෙන් නැති වෙද්දි ගිනි ගණන් දීලා පොල් පොහොර, තේ පොහොර, කඩේ තියෙන හැම එකක්ම පොඩ්ඩ පොඩ්ඩ ගහලා ගොඩ ගත්තත් දැන් වී ඇට දෙකක් නෑ. අපි කබලෙන් ලිපට වැටිලා ඉන්නේ”
එස්.ඩී.කහවත්ත
“දැන් මේ වෙද්දි ගොවියගේ විරෝධය වලක්වගන්න ආණ්ඩුව කරපු එක තමා හානි වෙන වගාවට වන්දි දෙන්නම් කියපු එක. කොහොමද දෙන්නේ? කීයක්ද දෙන්නේ? හානිය බලන්න කවුද ආවේ කුඹුරකට? මේ කිසි දෙයක් නැතිව කොහොමද වන්දි ගෙවන්නේ…
අපිට මේ රජය කියන කිසි දෙයක් විශ්වාස නෑ. කොම්පෝස්ට් හදන්න 12500 ක් දෙනවා කිව්වට එක ගොවියෙක්ට සම්පූර්ණ 12500 ලැබිලා නෑ. 7500 යි ලැබුණේ. මේ වන්දි ගෙවන ආකාරය ගැන විද්‍යාත්මකව අපිට ගොයම් කපන්න කලින් පැහැදිලිව කිව්වෙ නැත්නම් ඇලහැර විතරක් නෙවේ, සමස්ථ රටේම ගොවි ජනතාව එක්ක මේ මාසේ ඉවර වෙන්න කලින් කොළඹට එන්න අපි ලෑස්තියි මේවට උත්තර ඉල්ලගෙන.”