ගුජරාට් විශ්ව විද්‍යාලයේ ගැටුමක්….තුවාල ලැබූ සිසුන් අතර ශ්‍රී ලාංකික සිසුවෙක්!

අමායා උඩුවැරැල්ල –

ඉන්දියාවේ අහමදාබාද් හි ගුජරාට් විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයක ඊයේ  (16) රාත්‍රියේ ඇති වූ ගැටුමකදී විදේශීය සිසුන් පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ සිසුන් සිව් දෙනෙකු උස්බෙකිස්තානය, ඇෆ්ගනිස්තානය, දකුණු අප්‍රිකාව යන  රටවලින් පැමිණි සිසුන් වන අතර අනෙක් සිසුවා ශ්‍රී ලාංකිකයෙකු බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ.

විදෙස් සිසුන් තම කාමරවල සිට නමාස් නැමදීම සිදු කරමින් සිටියදී  පිරිසක් ඊට විරෝධය පළකරමින් කෑ ගසා තිබෙනවා. මේ නිසා දෙපිරිස අතර වූ බහින් බස්වීමක් දුරදිග ගොස් ගැටුමක් දක්වා වර්ධනය වී ඇති අතර ඉන්පසු සිසුන් කණ්ඩායම් දෙක අතර ගුටිබැට හුවමාරුවක් සිදුව තිබෙනවා. එහිදී විදෙස් සිසුන් පස්දෙනා තුවාල ලබා තිබෙනවා.මෙම සිදුවීම සිදුව ඇත්තේ විදෙස් සිසුන් පදිංචිව සිටින ගුජරාට් විශ්වවිද්‍යාලයේ A කොටසේදී යි.

පොලීසිය ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින්  සිදුවීම සම්බන්ධව නඩුවක් ගොනුකර ඇති බවත් සිසුන්ට පහර දුන් පුද්ගලයන් ‍ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගන්නා බවත් ප්‍රකාශ කර තිබුණා. එමෙන්ම තුවාල ලැබූ විදෙස් සිසුන් පිලිබඳව පවසා ඇත්තේ එක් අයෙකු පමණක් තවමත්  රෝහල්ගතව සිටින බවත් අනෙක් සිසුන් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි.

සිදුවීම සම්බන්ධව ඇෆ්ගනිස්ථාන සිසුවෙක් ඉන්දීය මාධ්‍ය වෙත පවසා තිබුනේ ඊයේ රාත්‍රී 11 ට පමණ ඔවුන් නමාස් නැමදුම් කරන අතරතුර පුද්ගලයින් 10 ක් 15ක් පමණ ඔවුන්ගේ නේවාසිකාගාරය අසලට පැමිණ ඇති බවයි.  ඉන් තිදෙනෙකු ඔවුන්ගේ නේවාසිකාගාර ගොඩනැගිල්ලට ඇතුළු  වී සිසුන් ට විරෝධය පළකර, එතැන සිටි ආරක්ෂක නිලධාරියා ද පිටතට තල්ලු කර නමාස් නැමදීම සිදු කරමින් සිටි සිසුන්ට පහර දී තිබෙනවා.


විදෙස් සිසුන්ගේ සහයට පැමිණි අනෙක් සිසුන්ට ද පහර දී ඇති අතර ඔවුන්ගේ කාමර කොල්ලකා ලැප්ටොප් පරිගණක, ජංගම දුරකථන සහ කණ්නාඩිවලට හානි සිදු කර ඇති බව ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා. එමෙන්ම පොලීසිය පැමිණ ඇත්තේ පහර දුන් පුද්ගලයන් ස්ථානයෙන් පළා ගිය පසු බවත් සඳහන් කර තිබෙනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් සිදුවීම සම්බන්ධව ගුජරාට් විශ්ව විද්‍යාලයෙන් තවමත් ප්‍රකාශයක් නිකුත් කර නැහැ.

Exit mobile version