ගැඹුරු මුහුදේ පාවී පැමිණි විදේශීය මත් පැන් බෝතලයක් පානය කළ පසු මත් පැන් විස වී ජීවිතය බේරාගෙන ඉතිරි වී සිටි “ඩෙවොන් 5” බහුදින ධීවර යාත්‍රාවේ ධීවයින් දෙදෙනාගෙන් තවත් ධීවරයෙක් අද (30) උදෑසන මිය ගොස් ඇත.
එසේ මිය ගොස් ඇත්තේ MV KOTA CAMIL’ නමැති සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ වෙළෙඳ නෞකාවක් මඟින් අද (30) උදෑසන එම ධීවරයින් දෙදෙනා මුදවා ගැනීමෙන් අනතුරුවය.
නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් එම ධීවරයින් මුදවා ගැනීමට MV KOTA CAMIL නැමැති නෞකාව යොමු කරන අතර මෙහෙයුම සඳහා වෛද්‍ය කණ්ඩායමක් සමඟ ඊයේ (29) සවස ශ්‍රී ලංකා නාවික හමුදාවේ විජයබාහු නෞකාව පිටත් වී ගියේය.
අද උදෑසන සිංගප්පුරු නෞකාව විසින් මුදවා ගත් ධීවරයින් දෙදෙනාගෙන් අයෙක් මිය යන්නේ වෛද්‍ය ආධාර ලබා දෙමින් විජයබාහු නෞකාව වෙත රෝගීන් භාර දීම සඳහා ඒ දෙසට එමින් සිටිය දී ය. විජයබාහු නෞකාව මඟින් ඔවුන් දෙදෙනාව භාර ගැනීමට නියමිතව තිබිණි.
IMUL 0909 TLE දරණ “ඩෙවෝන් පුතා 05” බහුදින ධීවර යාත්‍රාව ධීවරයින් 06 දෙනෙකුගේ කණ්ඩායමක් සහිතව 2024.06.04 දින තංගල්ල ධීවර වරායෙන් පිටත් වී ගොස් තිබේ.
එම ධීවරයින් මෙම මාරක අනතුරට ලක් වන්නේ මුහුදේ පාවී පැමිණි බව කියන විදේශීය මත් පැන් බෝතලයක් පානය කිරිමෙන් පසු එම මත්පැන් විෂ වීමෙනි.
එම්. ජේ. නයනකාන්ත (අවු 42) නැමැති බෝට්ටුවේ ස්කිපර්වරයා මුලින්ම මරණයට පත් විය. අනතුරුව ඊයේ රාත්‍රියවන විට තවත් තිදෙනෙක් මිය ගොස් තිබිණි. අද උදේ ද එක් ධීවරයෙක් මිය ගියේය.
ධීවර යාත්‍රාවේ එම්.ටී. සුජිත් සංජීව (32), පී.ඩී. ජයසූරිය (23) ටී.බී සුජිත් කුමාර (43), ආර්.බී.ජී ප්‍රදීප් නිශාන්ත (34), ජී.එම්. අජිත් කුමාර (56), යන ධීවර කාර්මිකයින් ගමන් කරමින් සිටියේය. මේ පිරිසෙන් දැන් ජීවතුන් අතර ඉන්නේ එක් පුද්ගලයෙක් පමණි.
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 365 ක් පමණ (කිලෝ මීටර් 675 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ ආපදාවට පත් ව ඇති එම ධීවරයින් පිරිස කඩිනමින් ගෙන්වා දෙන ලෙස ඉල්ලමින් ඊයේ එම ධීවරයින්ගේ ඥාතීන් තංගල්ල කතරගම පාර හරස් කර උද්ඝෝෂණයක යෙදුනහ. අනතුරුව පොලිසිය මැදිහත් වී ඒ සම්බන්ධව නාවික හමුදාව මැදිහත් වී ඇති බව දන්වා උද්ඝෝෂකයින් පිටත් කර අරිනු ලැබුවේය.
මේ තත්ත්වය තුළ කඩිනමින් එම පිරිස වෙත වෛද්‍ය ආධාර ලබාදී ගොඩබිමට රැගෙන ඒමට සහාය වන ලෙස, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙතින් ද නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත ඊයේ දහවල් දැනුම් දීමක් සිදු කෙරිණි.
එම දැනුම්දීමට නාවික හමුදා කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වහාම ප්‍රතිචාර දක්වා තිබිණි.