ග්‍රාම නිලධාරීන් ජන හා නිවාස සංගණනයෙන් ඉවත් වේ…

පවුල් ඒකක සවිබලගැන්වීමේ ජාතික වැඩසටහනෙනුත් ඉවත් වීමට තීර්ණයක්...

පවුල් ඒකක සවිබලගැන්වීමේ ජාතික වැඩසටහනෙන් හා ජන හා නිවාස සංගණන වැඩසටහනින්ද ඉවත් වීමට ග්‍රාම නිළධාරිහු තීරණය  කර සිටිති.

 කොතෙක් ඉල්ලීම් කළද ග්‍රාම නිලධාරීන්ගේ ගැටලු විසඳීමට රජය මෙතෙක් ක්‍රියා නොකිරීමට විරෝධය දක්වමින් මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරි සංගමයේ සභාපති සුමිත් කොඩිකාර  පැවසුවේය.       

මහනුවරදී මාධ්‍ය හමුවක් පවත්වමින් අද ( 08 ) සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය .ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය,සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය, ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය, රජයේ ග්‍රාම නිලධාරීන්ගේ සංගමය හා ශ්‍රී ලංකා එක්සත් ගම්පති ග්‍රාම නිලධාරි සංගමයද ඒකාබද්ධව මෙම තීරණයට එළඹි බවද ඔහු කීවේය.                                        


රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන පවුල් ඒකක සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහන යටතේ එක් ග්‍රාම  නිලධාරියෙකුට පවුල් ඒකක 50 ක ගෙවතු සකස් කිරීමේ වගකීම් පවරා දී ඇති බවත් ඊට අමතරව ජන හා නිවාස සංගණනයේදී ද ග්‍රාම නිලධාරීන්ට වගකීම් රැසක් පවරා ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

ඔහු කීවේ  කොවිඩ් -19 රෝග මර්දන රාජකාරිවල මෙන්ම   ජනතාවට අවශ්‍යය සහනාධාර සැපයීමේ  කටයුතුවලද ග්‍රාම නිලධාරීන් නිරතව සිටින බවත් රාජකාරි වේලාවෙන් බැහැරව පවා අමතරව කැපවීමකින් කටයුතු කළද එම රාජකාරිවල නිරතවන වෙනත් රාජ්‍ය සේවකයන් සඳහා ලබාදෙන පහසුකම් හා ආරක්ෂාව ග්‍රාම නිලධාරීන්ට රජය මගින් ලබා නොදෙන බවත්ය. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ග්‍රාම නිලධාරීන්ට සෞඛ්‍ය ඇතුළු වෙනත් කිසිදු  පහසුකම් මෙන්ම අමතර දීමනාවක් හෝ ලබා නොදීම සම්බන්ධයෙන් දැඩි ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව පවතින බවද  ඔහු පෙන්වා දුන්නේය. උද්ගත වී ඇති තත්වය සම්බන්ධව සාකච්ඡා කිරීමට අවස්ථාවක්වත් ලබා නොදීමට විරෝධය දක්වා පවුල් ඒකක සවිබලගැන්වීමේ ජාතික වැඩසටහනෙන් හා ජන හා නිවාස සංගණන වැඩසටහනින්ද ඉවත් වීමට තීරණය කළ බවද හෙතෙම කීවේය.                

 

 

Exit mobile version