ගල්කටස් එක්ක සමග අත්අඩංගුවට ගත් හරක්කටාගේ “ප්‍රධාන ඝාතකයා“ ගැන කතාවක්!

ප්‍රධාන සිද්ධි 09 ටම සම්බන්ධ නැති ප්‍රධාන ඝාතකයා....

ඩුබායි පදිංචිව සිට අත්අඩංගුවට පත්වූ ප්‍රබල සංවිධානාත්මක අපරාධ කරුවකු  හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන හරක් කටාගෙ ප්‍රධානම වෙඩික්කරුවෙක් බව කියමින් විශේෂ කාර්ය බලකාය විසින් ගල්කටස් තුවක්කුවක් සහ ජීව උණ්ඩ තුනක් සමග අත්අඩංගුවට ගත් කදිරා නැමැති පුද්ගලයා හරක්කටා සිදුකළ කුලී ඝාතන 08ට සම්බන්ධ වෙඩි තැබීම් 09කින් එක් සිද්ධියක් සඳහාවත් සම්බන්ධ බව මෙතෙක් හෙළි දරව් වී නැති බව විමර්ශන ආරංචි මාර්ග හෙළි කරයි.  

පසුගිය මැයි මස 30 දා සිට මේ දක්වා නාඳුනන තුවක්කු කරුවන් විසින් පුද්ගල ඝාතන 23ක් සිදුකර තිබිණි. ඝාතන උත්සාහයන් 03ක් සිදු වූ බව වාර්තා විය.

මේ ඝාතන දාමයේ හරක්කටා විසින් මෙහෙයවන ලද බවට හඳුනාගෙන ඇත්තේ ඝාතන අටකි. ඔහුගේ මෙහෙයවීම යටතේ  වෙඩි තැබීම් 09ක් සිදුකළේ යැයි හඳුනාගෙන ඇත. ඒ පසුගිය දා ගල්කිස්ස උසාවි භූමියේ සිදුකළ වෙඩි තැබීම ද ඇතුළුවය. එහිදී ජීවිත හානියක් හෝ තුවාල සිදුවීමක් වාර්තා වන්නේ නැත.

මාකිලංගමුව සංජීවගේ වෙඩික්කරුවෙක් යොදා බැස්ටියන් මාවතේ සිදුවන ඉලක්කය වැරදී ගිය ඝාතනය ඉන් ප්‍රධානය. ඒ ඝාතකයා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ දී බෙම්මුල්ලේ දී වෙඩි කා මළේය.


හරක් කටාගේ කුඩු ඇල්ලීම සඳහා ඔත්තු ලබා දුන් තැඹිලි වෙලෙන්දෙක්     හරක්කටාගේ තවත් ඉලක්කයක් විය. එම වෙඩි තැබීමට පැමිණි යතුරු පැදියේ ධාවකයා  කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය  අත්අඩංගුවට ගත්තේය.එහි දී වෙඩික්කරුවා හඳුනා ගැනුණි.

පානදුර කුඩු සළිඳු විසින් මෙහයවන ලද වෙඩි තැබීමක් හරක්කටාගේ උපදෙස් මත සිදුවූ බව විමර්ශන අංශ හෙළි කරගත්තේය.

අහංගමදීත්,   අහංගම ගොවියාපාන හෝටලයක් ඇතුළෙදීත් වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයින් දෙදෙනා හරක්කටා විසින් මෙහෙයවා කළ ඝාතන බව විමර්ශකයෝ කීහ.   ගොවියාපාන ඝාතනය සම්බන්ධව හිටපු විශේෂ බලකායේ  සෙබලෙක්  අත්අඩංගුව ගැනුණි. වෙඩි තැබීමේ දී ඉලක්ක ගත් ආකාරය අනුව මේ ඝාතකයා හරක්කටාගේ තවත් එක් ඝාතනයකට සම්බන්ධ බව සැක කරයි.

මොරටුවේ දි  වාහනයක් තුළ වෙඩි තබා කළ ද්විත්ව ඝාතනය සලිඳු විසින් මෙහෙයවන්නේ හරක්කටාගේ උපදෙස් මත බව වාර්තා වේ.  එමෙන්ම රටම කතා වුණු ගල්කිස්ස උසාවි භූමියේ සිදුවන ඝාතන තැත ද හරක්කටාගේ සැලසුමක් බව හෙළි වී ඇත.

ඉන් පසුව සිදුවූ මුල්ලේරියාව පොහොට්ටු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඝාතනයත් ජිලේ නැමැත්තාගේ අවශ්‍යතාවය මත හරක්කටා විසින් මෙහයවන ලද බව විමර්ශන අංශ විශ්වාස කරයි. එම ඝාතනයේ වෙඩික්කරු  යැයි සැක පිට විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ආයුධ පෙන්වන්නට යෑමේ දී ගල් කොරියකින් පහළට ඇදවැටී මිය ගියේ  සැබෑ ඝාතකයා නොවන බව පසුව හෙළි විය.

විශේෂත්වය වන්නේ විශේෂ කාර්ය බලකාය විසින් හරක්කටාගේ ප්‍රධාන කුලී  ඝාතකයා ලෙස හඳුන්වා ගල්කටස් තුවක්කුවක් සමග බොරලැස්ගමුවේ දී අත්අඩංගුවට ගන්නා  තැනැත්තා දැනට විමර්ශනයට ලක් වී ඇති ප්‍රධාන වෙඩි තැබීමේ සිද්ධි 09ට අදාල ඝාතන 08ට සම්බන්ධ බව හෙළි වී නොතිබීමය.

හරක්කටාගේ කොන්ත්‍රාත්තුවක් කිරීමට 14 වැනිදා ඔහු බොරලැස්ගමු එන්නට දින 03කට පෙර එනම් පසුගිය 11 වැනිදා හරක්කටා හෙවත් නදුන් චින්තක ඩුබායි පොලිස් අත්අඩංගුවට පත් වී තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත්   අත්අඩංගුවට ගත්  පුද්ගලයා හරක්කටාගේ අවශ්‍යතාවය මත කළ වෙඩි තැබීම්වලින්    පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලැබූ බව විශේෂ කාර්ය බලකාය මාධ්‍යයට පැවසුවේය.

Exit mobile version