කෝප් කමිටුවට නාම යෝජනා කැඳවයි. විපක්ෂය සභාපති කම ඉල්ලයි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවට සහ රාජ්‍ය ගිණුම් කාරක සභාවට සාමාජික මන්ත්‍රීවරු නම්කර එවන ලෙස පාර්ලිමේන්තුව නියොජනය කරන සියලුම දේශපාලන පක්ෂවලට දැනුම් දී ඇත.
අදාල නාම යෝජනා ලබන 8 වැනිදා ට පෙර පාර්ලිමේන්තුවට එවිය යුතු බවත්, පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවලට හිමි මන්ත්‍රී සංයුතියට අනුව සිය නම් කිරීම් සිදු කරන ලෙස දැනුම් දී තිබෙන බවත් පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාසරට පැවසීය.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හා රාජ්‍ය ගිණුම් කාරක සභාව නියෝජනය කරන මුලු සාමාජික සංඛ්‍යාව 22න් සමන්විතය.
වර්ෂ 2015 බලයට පැමිණි යහපාලන ආණ්ඩුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය විපක්ෂයට ලබා දුන් ආකාරයටම මෙවර ද එය විපක්ෂයට ලබා දෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණ, සමගි ජන බලවේගය, පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දී ඉල්ලීමක් කළේය.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය විපක්ෂයට ලබා දිය යුතු බවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු අතර පවා සාකච්ඡා කර තිබුණ ද මේ වනතෙක් ඒ පිළිබඳව අවසන් තීරණයක් ලැබී නොමැති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල ලංකාසර කළ විමසුමක දී ප්‍රකාශ කළේය.

Exit mobile version