කොවිඩ් චක්‍රලේඛන ඉංග්‍රීසියෙන් විතරයි… මේ මානසිකත්වය මොකක් ද?. පී.එච්.අයි මහත්තුරු අසති..

ගමේ මිනිස්සුන්ට ඉංග්‍රීසි චක්‍රලේඛණ පෙන්වා නීතිය ක්‍රියාත්මක කරන්න යන පී.එ.එච්.අයි මහත්තුරුන්ගේ අත්දැකීම...

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නිරෝධායනය හා කොරෝනා සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන චක්‍රලේඛන සියල්ලම ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නිකුත් කිරීම නිසා මේ වනවිට සිදුවන කොවිඩ් රාජකාරිවලින් අඩක් ඇණ හිට ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.

කොවිඩ් මර්ධනයට අදාලව මේ රටේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන චක්‍රලේඛනවල අරමුණ එම උපදෙස් ප්‍රායෝගිකව බිම් මට්ටමේ ක්‍රියාත්මක කිරීම නම් ඒවා සිංහල සහ දෙමළ භාෂා ද්විත්වයෙන් තිබීම අත්‍යාවශ්‍ය බව පෙන්වා දෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු උසාවියක වුවත් නීතියක නිශ්චිත අර්ථ නිරූපණය ලබා ගන්නේ සිංහල භාෂාවෙන් එන ලේඛනයෙන් බව පෙන්වා දෙති.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන චක්‍රලේඛණ නීතියක් බවට පත් වන බව ප්‍රකාශ කර තිබිය දීත් එම චක්‍රලේඛන ඉංග්‍රීයෙන් පමණක් නිකුත් වීමේ අර්ථය සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් මෙන්ම සෞඛ්‍ය ඇමතිනියගෙන් ද විමසූ නමුත් තවමත් නිශ්චිත පිළිතුරක් ලබා දී නැති බවත් මෙම ක්‍රමවේදය වෙනස් කර නැති බවත් ඔවුහු කියති.

මේ සම්බන්ධව අදහස් දක්වමින් මහජන සෞඛ්‍යපරීක්ෂකවරුන්ගේ සංගමයේ සංගමයේ උප සභාපති එස්.ඒ.ටී.යූ. කුලතිලක ලංකාසරට පැවසුවේ මේ වනවිට රාජකාරිවල වේගය අඩකින් අඩු වී ඇති බවය.

“ මේ ගැන අපි සෞඛ්‍ය ලේකම් වරයාට දැන්වුවා. සෞඛ්‍ය ඇමතිනියට දැන්නුවා. මේ මිනිස්සු වැඩවසම් මානසිකත්වයකින් තමන්ගෙ ආධිපත්‍ය තියාගෙන යන්න කරන බාල වැඩවලින් අවසානයේ දි කොවිඩ් මර්ධනය කියන ඉලක්ක අරමුණයි විනාශ වෙන්නේ.“

“ පී.එච්.අයි. ල වගේම මේ චක්‍රලේඛයක් පැහැදිලි කරගන්න යනකොට වෛද්‍යවරුත් අර්බුදයකට යනවා. මගෙ අත්දැකීම නම් එකම චක්‍රලේඛය හතර දෙනෙක් කියවලා අර්ථ කථනය කරන්නෙ හතර විදිහකට. එහෙම ගිහින් ක්ෂේත්‍රයෙ වැඩ කරන්නෙ කොහොම ද?. මේක මිනිස්සුන්ගෙ ජීවිත එක්ක කරන ගනුදෙනුවක්. මේ අවුලට බිම් මට්ටමේ රාජකාරි කරන අපි දාන්නෙ ඇයි කියන එක අපි සෞඛ්‍ය බලධාරීන්ගෙන් අහනවා.“

“ මේ රටේ ඉන්නෙ සුද්දො නෙමෙයි.. සිංහලෙන් දෙමළ භාෂාවෙන් චක්‍රලේඛන නිකුත් කිරීම මදි කමක් ද?. වෙන ප්‍රශ්නයක් තියනව ද?. මේක නිවැරදි කරන්න කියන එක කරන්නෙ නැත්තෙ ඇයි?. නිරෝධානයන කරන්නෙ මෙන්න මේ චක්‍රලේඛනයෙ මේ වගනිත්ය යටතේ කියලා ඉංග්‍රීසි චක්‍රලේඛනයක් ගමේ මිනිහෙකුට පෙන්නුවම අපිට ඇතිවෙන තත්වය මොනවගේ ද කියලා ඔබ හිතා ගන්න. ගුටි නොකා එන්නෙ අමාරුවෙන්. “

“අපේ නිලධාරීන් බහුතරයකටත් විශාල ඉංග්‍රීසි නිපුණත්වයක් නැති වෙනකොට ගමේ මිනිහෙකුට මේ චක්‍රලේඛන පෙන්වලා උපදෙස් දෙන්න නියමවීම ම අවුලක්. මරණීය ව්‍යසන අස්සෙ බලධාරීන් විහිළු කරන්න හොඳ නෑ“
උප සභාපතිවරයා පැහැදිලි කළේය.

Exit mobile version