කොවිඩ් එන්නත සඳහා දැනට රජය වැය කළ මිල රුපියල් කෝටි 10ක්…

නතාෂා නෙත්මිණි –                                                      

කොවිඩ් – 19 වයිරසය මර්දනය සඳහා වූ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නත සඳහා රජය මේ වන විට රුපියල් ලක්ෂ 1000 කට අධික මුදලක් වැය කර ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ  අප කළ විමසුමකදී   අද (16) පැවසුවාය. 

එන්නත් මාත්‍රා දොළොස් ලක්ෂ හැට හතර දාහක් (1,264,000) මේ වන විට පරිත්‍යාග ලෙස සහ මිලදී ගැනීමෙන් මෙරටට ලැබුණු බවත් ලක්ෂ 5 ක එන්නත් මාත්‍රා ප්‍රමාණයක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මඟින් මිලදී ගැනීම සිදු කර ඇති බවත් ඇමැතිවරිය ප්‍රකාශ කළාය.

එන්නත් මාත්‍රාවක් ඇමරිකානු ඩොලර් 5.20 ක වටිනාකමකින් යුක්ත අතර එන්නත් මාත්‍රා ලක්ෂ 5 ක් මිලදී ගැනීම සදහා රජය රුපියල් ලක්ෂ 975 ක පමණ මුදලක් වැය කර තිබේ. 


එන්නත්කරණ වැඩපිළිවෙළට ශීතකරණ පහසුකම්, ප්‍රවාහන පහසුකම්, සිලින්ජර් මිලදී ගැනීම, මානව සම්පත භාවිතය යනාදිය ඇතුළත් වන අතර ඒ සදහා ද මුදල් වැය කිරීමක් රජය සිදු කර ඇති බව ඇමැතිවරිය පැවසුවාය.

ඇස්ට්‍රා සෙනිකා එන්නත් මාත්‍රා දොළොස් ලක්ෂ හැට හතර දාහෙන් ලක්ෂ 5 ක් පරිත්‍යාගයක් ලෙසත්, තවත් ලක්ෂ පහක් මිලදී ගැනීමක් ලෙසත්, ඉතිරි 264,000 කොවැක්ස් පහසුකම යටතේත් මෙරටට ලබා ගැනීම සිදු කළ බව ද ඇමැතිවරිය කියා සිටියාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙරට පුද්ගලයන් 773,011 ක් පසුගියදා (14) වන විට එන්නත ලබාගෙන ඇත.   

Exit mobile version