කොවිඩ් ආසාදිත සිව්මස් ළදරුවෙක් පේරාදෙණියේ දී මිය යයි…

මාස හතරක වයසැති බිළිදෙකු  කොවිඩ් ආසාදිතව පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේදී  මරණයට පත්වූයේය.

මහනුවර නුගවෙල පදිංචි අමෝද්‍ය සන්දීප කරුණාසිංහ නැමැති බිළිදෙකු  මෙසේ මිය ගිය බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන පැවසුවේය.

මාස හතරේදී ලබා දෙන එන්නත පසුගිය 12 දින මෙම දරුවාට තිත්තපජ්ජල රෝහලේදී  ලබා දුන් පසු උණ සමඟ හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම පසුගිය 13 දා   පෙරවරුවේ දරුවා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගොස් ප්‍රතිකාර ලබාදීමට  ඔහුගේ  මව පියවර ගෙන තිබේ.


එම ප්‍රතිකාරවලින් සුව නොවීම නිසා එදින දහවල් පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක රෝහලට ළදරුවා  ඇතුළත්කර ඇත. එහිදී දරුවා ඇන්ටිජන් පරීක්ෂාවකට ලක්කර තිබෙන අතර එහි ප්‍රතිපලය අනුව ඔහුට කොවිඩ් ආසාදනය වී නොමැති බව වාර්තා කර  ඇත.

පසුව පී.සී.ආර් පරීක්ෂණයක්ද සිදුකර ඇති බව ද රෝගය උත්සන්න වීමෙන් එදින රාත්‍රියේ දරුවා මියගිය බවද දරුවාට   කොවිඩ් ආසාදනය වී තිබෙන බව තහවුරු කරමින් වාර්තාව නිකුත් වූයේ දරුවාගේ මරණයට සිදුවූවාට පසුව බව ද හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන පැවසුවේය.

ඉතාලියේ රැකියාවක් කරන මෙම දරුවාගේ පියා විදේශ ගතව ඇත්තේ දරුවා උපදින්නට මාස කිහිපයකට පෙර බවත් දරුවා මියයන විට පියා එම දරුවාව දැක නොතිබූ බවත් මරණ පරික්ෂකවරයා කීවේය.

කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මළ සිරුරු සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු නොකරන නමුත් මෙම දරුවා එන්නතක් ලබාදීමෙන් පසු හදිසියේ මරණයට පත්වීම නිසා පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස තමන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විශේෂඥ මහචාර්ය සරත්චන්ද්‍ර කොඩිකාර  ගෙන් ඉල්ලීමක් කළ බවත් ඒ අනුව එම වාර්තාව ලැබෙන තෙක් අදාහන කටයුතු සිදු කිරීම තාවාකලිකාව නතර කළ බවත් මරණ පරීක්ෂකවරයා කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේවන විට මහනුවර දිස්ත්‍රික්කයේ කොවිඩ් මරණ 38 ක් වාර්තා වී තිබෙන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලය පවසයි.

Exit mobile version