කොරියා රැකියා දෙන බව කියමින් ඇමති නාමල්වත් විකුණා මුදල් වංචාකළ හොර ලේකම් අතුරුදන්.

සූරියවැව නුවන් ජයසේකර –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ලේකම් වරයෙකු ලෙස අන්තර්ජාලය ඔස්සේ පෙනි සිටිමින් මත්තලින් දකුණු කොරියාවට යවන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු පිළිබඳව පැමිණිළි 12ක් ඊයේ (21) ලැබී ඇතැයි ලුණුගම්වෙහෙර පොලිසිය කියයි.

මෙලෙස ලුණුගවෙහෙර පොලීසියට පැමිණිළි ඉදිරිපත් කර ඇත්තේ මාතලේ,ආණමඩුව,දොඩම්ගස්ලන්ද,කුරුණෑගල හා හීරියගොල්ල ප්‍රදේශවල පදිංචි කරුවන් 12 දෙනෙකි.

සැකකරු අන්තර්ජාලය ඔස්සේ අදාල පැමිණිලි කරුවන් සමග සම්බන්ධ වී ඇති අතර ඔහුව පැමිණිලි කරුවන්ට හඳුන්වා දි ඇත්තේද කලක් කුවේට් රටේ සේවය කර දැනට කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක විසිනි.

මෙම සැකකාර පුද්ගලයා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ලේකම් වරයෙකු බව පවසා කුරුණෑගල පදිංචි කාන්තාව හා එක්ව මෙම ජාවාරම සිදුකර ඇත.

සැකකරු එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 60,000 බැගින් රුපියල් 720,000ක මුදලක් මුලික අත්තිකාරම් ලෙස ගිණුමකට බැරකරවාගෙන ඇති අතර ඉතිරි මුදල ගුවන් තොටුපොලේ දී ලබා දෙන ලෙස පැමිණිලි කරුවන්ට පවසා තිබේ. ඒ අනුව පැමිණිලි කරුවන් 12 දෙනා මීට දින කිහිපයකට පෙර සැකකරුගේ ගිණුමට රුපියල් 60,000 බැගින් මුදල් බැර කර තිබේ.

පසුව සැකකරු විසින් පැමිණිලි කරුවන් 12 දෙනාට දකුණු කොරියා යාම සඳහා 21 දින මත්තල ගුවන් තොටුපොලට පැමිණෙන ලෙසත් තමන්ත තවත් කිහිප දෙනෙකු සමග මත්තල ගුවන් තොටුපොලට පැමිණෙන බවත් අන්තර් ජාලය ඔස්සේ සම්බන්ධවී පවසා තිබේ.

ඒ අනුව පැමිණිලි කරුවන් 12 දෙනා විදෙස්ගත වීම සදහා 21 දින පෙරවරුවේ මත්තල ගුවන් තොටුපොලට පැමිණි නමුත් අදාල පුද්ගලයා ගුවන් තොටුපොලට පැමිණ නැත. පසුව ඔහුගේ දුරකතනයට ඇමතුම් ගත්තත් එයද විසන්ධි වී තිබී ඇත. පැයකට ආසන්න කාලයක් අදාල සැකකාර පුද්ගලයා සම්බන්ධ කරගැනීමට නොහැවීම නිසා තමන් කිසියම් උගුලකට හසුව ඇති බව විදෙස් ගතවිමට පැමිණි අයට වැටහී තිබේ. ඒ අනුව විදෙස් ගතවීමට මත්තලට පැමිණි පුද්ගලයන් 12 දෙනා ලුණුගම්වෙහෙර පොලිසියට ගොස් සිද්ධිය පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇත.

සැකකාර පුද්ගලයා දැරණියගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවත් ඔහු පිළිබඳ වෙනත් විස්තරයක් නොදන්නා බවත් පැමිණිලි කරුවන් පොලිසියට දන්වා තිබේ. ඒ අනුව සිද්ධිය පිළිබඳව තංගල්ල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවීන්ද්‍ර අඹේපිටිය, සහකාර පොලිස් අධිකාරී ජයශාන්ත ද සිල්වාගේ උපදෙස් පරිදි ලුණුගම්වෙහෙර පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක චින්තක වික්‍රමරත්න ඇතුළු නිළධාරීන් පිරිසක් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Exit mobile version