කොන්දේසි මැද කොවිඩ් සිරුරු භූමදානයට විශේෂඥ කමිටුවෙන් නිර්දේශ

කොවිඩ් -19 වෛරසය ආසාදිත මෘතදේහ ආදාහනය කිරීම හෝ භූමදානය කිරිමේ හැකියාව පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂඥ කමිටුව කොන්දේසි කිහිපයක් මත භූමදානය සඳහා ඉඩදිය හැකි බවට නිර්දේශ කර ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් පත් කරන ලද විශේෂඥ වෛද්‍ය මහචාර්ය ජෙනිෆර් පෙරේරා ප්‍රමුඛ ක්ෂුද්‍ර ජීව විද්‍යාඥයන් වෛරසවේදීන් ප්‍රජා වෛද්‍ය විශේෂඥයින් ඇතුළු විශේෂඥයන් 11 දෙනකුගෙන් සමන්විත වූ කමිටුව මඟින් මෙම නිර්දේශය ඉදිරිපත් කර ඇති බව සදහන් වේ.

ඒ අනුව මෙම නිර්දේශ යටතේ ඕනෑම ආගමක ප්‍රජාවට කොවිඩ් ආසාදිත මළසිරුරු භූමදානයට කටයුතු කළ හැකිවීම විශේෂත්වයකි.


කෙසේවුවද ඒම කටයුතු බලයලත් සෞඛ්‍ය සේවකයන් මගින් ඥාතීන් සම්බන්ධ කරගෙන සිදුකිරීම සදහා අවසර ලැබෙන අතර, කිසිදු විටෙක ඥාතීන් හට දේහය භාරදීමක් සිදු නොකළ යුතු බවට ඔවුන් නිර්දේශ කර ඇත.

එම දේහය හසුරුවන සියලුම සෞඛ්‍ය සේවකයන් covid වැළැක්වීමේ පෞද්ගලික ආරක්ෂණ ඇඳුම් කට්ටලයෙන් සමන්විත විය යුතු අතර එම්බාම් කිරීම ද නොකළ යුතුය.

සියලුම දේහ ඇතුළත ස්ථර දෙකකින් යුතු පොලිතීන් මලුවල බහා සීල් තැබිය යුතු වේ.

භූමදානය සිදුකිරීමේදී අදාල වලෙහි මතුපිට සිට මීටර් 1.5ක් ගැඹුරු විය යුතු අතර භූගත ජල ස්ථරයට මීටර් දෙකක් ඉහළින් විය යුතුය.

භූමදානය කරන ස්ථානය ජලය ඒක්රැස් වන වගුරු බිමකට මීටර් 10ක් ඈතින් පිහිටා තිබිය යුතුය.

පානීය ජලය ලබා ගන්නා ළිං සහ ජල මූලාශ්‍රවලට මීටර් 250 ක් ඈතින් පිහිටා තිබිය යුතුය.

ජලය ගලා යන මාර්ගවලට මීටර් 30ක් ඈතින් විය යුතුය.

අවසන් කටයුතු සඳහා සහභාගි විය හැකි පවුලේ සාමාජිකයින් සිව් දෙනෙකුට පමණක් වන අතර එහිදී ද එක් වරකට පුද්ගලයන් දෙදෙනෙකුට පමනක් මීටරයක් දුරස්ථව හිඳ සිරුරට අවසන් ගෞරව දැක්විය හැකිය.

භූමදානය කරන පරිශ්‍රයට ද ගමන් කළ හැක්කේ පවුලේ සාමාජිකයන් 4 දෙනෙකුට පමණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සියලුම ආගමික වතාවත් සඳහා විනාඩි 10ක කාලයක් සෞඛ්‍ය බලධාරීන්ගේ නිරීක්ෂණය මත සිදු කිරීමට අවසර ලබා දී ඇත.

Exit mobile version