ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි නොකළ ඉන්දීය සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සමෙහි වගඋත්තරකරුවන් වන ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරින් වෙනුවෙන් තමන් පෙනී නොසිටින බව නීතිපතිවරයා ඊයේ (14) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.
අදාළ ඉන්දියානු සමාගම් දෙකෙන් ඖෂධ වර්ග 38ක් මිලදී ගැනීමට එරෙහිව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරි ලයනල් ගුරුගේ ඇතුළු පස් දෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගය සඳහා කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මිහිරිද අල්විස් මේ බව දන්වා සිටියාය.
ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම් කැඳවන ලදි. එහිදී රජයේ නීතිඥවරිය සඳහන් කළේ ඉහත සඳහන් වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටින බවට මීට පෙර කරුණු ඉදිරිපත් කර තිබුණ ද ඔවුන් වෙනුවෙන් තවදුරටත් පෙනී නොසිටීමට නීතිපතිවරයා තීරණය කර ඇති බවය.
එහිදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා සඳහන් කළේ සිය සේවාදායකයන්ගෙන් මෙම නඩුකරය තමන්ට පෙර දිනයේ ලැබුණු බවය. එය අධ්‍යයනය කිරීමට හෝ උපදෙස් ලබා ගැනීමට අවස්ථාවක් නොලැබුණු බැවින් ඒ සඳහා කල් ලබාදෙන්න යැයි ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල නීතිපතිවරයා පෙනී නොසිටින බවට දැනුම් දෙන ලද වගඋත්තරකරුවන් වෙත මෙම පෙත්සම සම්බන්ධයෙන් වන නොතීසි නැවත දන්වා යවන ලෙස නියම කළේය.
පෙත්සම් විභාගය සැප්තැම්බර් 18 වැනි දින පැවැත්වීමට නියම කෙරිණි.
හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, රේගු අධ්යක්ෂ ජනරාල්වරයා, පොලිස්පතිවරයා, සැවොරයිට් පාමසිකල් ප්‍රයිවට් ලිමිටඩ්, කෞෂික් තෙරපියුටිස් පෞද්ගලික සමාගම සහ නීතිපතිවරයා ඇතුළු 47දෙනෙකු පෙත්සමෙහි වගඋත්තරකරුවෝ වෙති.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරට ලියාපදිංචි නොකළ ඉන්දීය සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය ඇමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය තීරණය කළ බව පෙත්සමෙහි සඳහන් වේ. ( නෙල්කා මැදගෙදර – දිනමිණ)