කුරුඳුමලේ පුදබිමේ   පුරාවිද්‍යා ආඥා පනත උල්ලංඝණය කළ බෞද්ධ හින්දු අනවසර ඉදිකිරීම් ඉවතට…

දිනසේන රතුගමගේ –

මුලතිව් තන්නිමුරුප්පු කුරුඳුමලේ ආදී ශිව අයියනාර් කෝවිලේ හා කුරුඳුමලේ බෞද්ධ සිද්ධස්ථානයේ අළුතින් ඉදිකරණ ලද සියළුම ඉදිකිරීම් වහාම ඉවත් කොට ඒ පිළිබදව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරණ ලෙස මුලතිව් මහේස්ත්‍රාත් ආර්.ස්වර්ණරාජා  ඊයේ (14) පොලීසියට නියෝග කළේය.

2022-06-16 වෙනි දින ශිව කෝවිලේ බාරකාර මණ්ඩලය විසින්  මුලතිව් අධිකරණයේ පනවන ලද අංක ඒ/ආර්/ 673/18  දරන නඩුව විභාග කිරීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කොට තිබේ.

මෙම නඩුව ගොනු කිරීමට පෙර මුලතිව් අධිකරණය වෙත ගොනු කරණ ලද නඩුවක් විභාග කළ මුලතිව් අධිකරණය එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරන තුරු අලුතින් කිසිදු ඉදිකිරීමක් මේ ස්ථානයේ සිදු නොකරණ ලෙසට ශිව කෝවිලේ බාරකරුවන්ට හා බෞද්ධ සිද්ධස්ථානයේ විහාරාධිපති හිමියන්ට නියෝගයක් නිකුත් කොට තිබූ අතර දෙපාර්ශ්වය විසින්ම එම නියෝගය කඩ කිරීම නිසා අධිකරණය එම අලුත් ඉදිකිරීම් ඉවත් කර ගන්නා ලෙස නියෝග කොට තිබේ.

අධිකරණ තීන්දුව නිසා කුරුඳුමලේ බෞද්ධ සිද්ධස්ථානයේ අලුතින් ඉදිකොට ඇති  බුදු මැදුරක් චෛත්‍යයක් හා තවත් ඉදිකිරීම් කීපයක්ද ශිව කෝවිලේ ඉදිකිරීම් රැසක්ද දැඩි අනතුරකට පත්ව තිබේ.


මේ තත්ත්වය මත මුලතිව් අධිකරණයෙන් නිකුත් කරන ලද එම නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා වවුනියාව මහාධිකරණයේ නඩු පැවරීමට පිරිසක් පියවර ගෙන ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් මෙම ඉදිකිරීම් ඉවත් කොට ඒ පිළිබදව වාර්තාවක් ජුලි මස 29 වෙනිදා වෙනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මුලතිව් මහේස්ත්‍රාත්වරයා මුලතිව් පොලීසියට නියෝග කොට ඇත.

Exit mobile version