කුරුණෑගල ඓතිහාසික රාජසභා මණ්ඩපය කඩා අවුරුද්දයි… අපරාධකාරයින්ට දඬුවම් ඉල්ලා උද්ඝෝෂණයක්..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කුරුණෑගල රාජ සභා මණ්ඩපය කඩා බිඳ දමා වසරක කාලයක් ඉකුත්ව ගිය මුත් එය සිදු කළ අපරාධකරුවන් කිසිදු දඬුවමක් ලබා දීම ට රජය අපොහොසත් වීම පිළිබඳව සහ ඓතිහාසික උරුමයන් විනාශ කරන අපරාධකරුවන් රාජ්‍ය විසින් ආරක්ෂා කිරීම හෙළාදකින බව සඳහන් කරමින් අද (16) කුරුණෑගල කඩා දමන ලද රාජසභා මණ්ඩපය ඉදිරියේදී විරෝධතාවක් පැවැත්විනි.
පුරාවස්තු සුරැකීමේ සංවිධානය හා එක්ව ජනතා විමුක්ති පෙරමුණ මෙම විරෝධතාවට එක්ව සිටියහ.

මෙහි දී පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමි මෙලෙස අදහස් දැක්වීය .

” මේ රාජ සභාව සභා මණ්ඩපය කඩාබිඳ දමලා අදට හරියටම මාස 12 ක් වෙනවා . මේක කඩා දැම්මේ කුරුණෑගල නගරාධිපති. එහෙත් ඔහු ආරක්ෂා කිරීම අගමැතිවරයා දිගින් දිගටම සිදු කරමින් යනවා.

අගමැතිවරයා කොමිෂන් දමමින් මේක මගහැරියා. ජනතාවගේ අවධානය වෙනතකට යොමු වූවාට පසුව තමයි එතුමා කොමිසන්සභා පත් කරමින් පත්කරමින් ගියේ.
එතුමාගේ දේශපාලන පරිණතභාවය සට කපටිකමින් ඉතාමත් දක්ෂ ලෙස මෙවැනි දේ හැසිරවීම පිළිබඳව යෙදවීම පිළිබදව ජනතාව දැන් ඉතාමත් හොඳින් දැනුවත් වෙලයි ඉන්නෙ .

මෙවැනි නීති විරෝධී කටයුතු කරන නගරාධිපතිවරයා ආරක්ෂා කිරීමට තක්කඩි තීරණ ගැනීමට අගමැතිවරයා සහ ජෝන්ස්ටන් ක්‍රියාත්මක වුණා. එවැනි අපරාධ කරුවන්ට පොලිසිය ගිහින් කේක් කවලා උපන් දිනය සැමරුවා .

මෙවැනි ස්ථාන වලට බැකෝ යන්ත්‍රයක් තබා උදළු තලයක් වත් ගහන්න බැරිතරම් නීතියක් මේ රටේ තියෙනවා . නමුත් ඒවා ඇයි ක්‍රියාත්මක නොවෙන්න . අපි අහන්නේ මෙවැනි රත්තරන් භූමි එතනෝල් ව්‍යාපාර කරන්න යොදා ගැනීමට ඉදිරියේ සූදානමක් තිබෙනවා ද යන්නයි.

මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න ද අදහස් දැක්වීය .

” මේ පුරාවිද්‍යා ස්මාරකය කඩා දාලා අදට අවුරුද්දයි. කුරුණෑගල ජනතාවගේ ඡන්දයෙන් අගමැති ධූරයට පත් වෙච්ච අගමැතිවරයා සංස්කෘතික අමාත්‍යවරයා ව සිටියදී තමයි මේ විනාශය සිද්ධ වුණේ. “

“මේ රාජ සභා මණ්ඩපය කඩා දමන්න වියදම් කරලා තියෙන්නෙත් රජයේ සල්ලි . කඩාදැමීම සොයා බලන්න වියදම් කරපු කොමිෂන් සභාව පත් කළෙත් රජයේ සල්ලි. විනාශ වීම පිළිබඳව ඇස්තමේන්තු කරලා නැවත සකස් කරන්න තීරණය කළෙත් රජයේ මුදල් වලින් .“

“නගරාධිපතිවරයා ඇතුළු අපරාධ කරුවන්ගේ නඩු ගාස්තු ගෙවීමට වියදම් කරන්නෙ රජයේ මුදල්.“

“වසරක කාලයක් පුරාවට මෙම ස්ථානය ආරක්ෂා කරන පොලිසියේ පඩි , ඕටි බටා ගෙවන්න වියදම් කරන්නෙත් රජයේ මුදල් . අද මේ ගොඩනැඟිල්ල ඇද ගහලා. ලී දඩු වේයො කනවා. අපිට පෙනී යන්නේ ස්වභාවිකවම සාක්ෂි විනාශ වෙන්න ඉඩ හැරලා ඇති බවයි“. යැයි කරුණාරත්න මහතා සඳහන් කළේය.

Exit mobile version