කිරිබත්ගොඩට මර්වින් නැති අඩුව පුරවන දේශපාලන අම්බරුවෝ

ගුටි ගැහුව මැටි ඇමති ගෝලයන්ට අත නොතබන්නැයි පොලිසියට බලපෑම්

කිරිබත්ගොඩ පොදු වෙළඳ සංගමයේ ලේකම්  සිරිල් පතිරණගේ

කිරිබත්ගොඩ පොදු වෙළද සංකීර්ණයේ රථ ගාලේ වෙළඳ කුටි ඉදිකර විණීමකට එරෙහිවූ  කිරිබත්ගොඩ පොදු වෙළඳ සංගමයේ ලේකම්  සිරිල් පතිරණගේට පහරදුන් කැලණිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී දුමින්ද පෙරේරා ඇතුළු මැර කණ්ඩායම අත්අඩංගුවට නොගන්නා ලෙසට පොලීසියට දැඩිව දේශපාලන බලපෑම් එල්ලවීමට පටන්ගෙන තිබේ.

මේ වන විට ප්‍රසිද්ධියේ කිරිබත්ගොඩ පැත්තේ ගැවසෙමින් සිටින දුමින්ද පෙරේරා මන්ත්‍රීවරයා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකිව පොලීසිය අසරණව සිටින බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. එම බලපෑම් එල්ලකරන්නේ ඇමතිවරයෙක්  විසින් බවත් මර්වින් සිල්වාගේ අඩුව දැන් කැලණියේ සම්පූර්ණ කරන්නේ එම ඇමතිවරයා විසින් බවත් එම නිලධාරියා කීය. මේ තත්ත්වය මත මේ ගැන විමසන මාධ්‍යට  කියන්නට සිදුව ඇත්තේ සැකකාර මන්ත්‍රීවරයා සැඟවී සිටින බව යැයි ද එම නිලධාරියා සඳහන් කළේය.

පොලීසියට මෙවන් ප්‍රකාශයක් කරන්නට සිදුව ඇත්තේද  සැකකාර මන්ත්‍රීවරයා ඉකුත් 12 වෙනිදා ප්‍රාදේශීය සභාවේ මාසික සභාවාරයට පැමිණි  පැය 06 ක පමණ කාලයක් එහි ගතකර සිටියදීත්ය. මෙම සැකකාර මන්ත්‍රිවරයා පසුගිය කාලයේ දේශපාලන වශයෙන් සමීපව සිටියේ ප්‍රසන්න රණවීර අමාත්‍යවරයා සමඟ බව පැවසේ.      ඔහු එම ඇමතිවරයාගේ හයිය උපයෝගී කර ගන්නෙක් බව කිරිබත්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව පවසයි.


“ එදා 08 වෙනිදා රෑ මම කිරිබත්ගොඩ ගාල හංදියේ කොන්ටිනල් හෝටලයට ගියා කෑම එකක් ගන්න. ඒ වෙලාවේ දුමින්ද පෙරේරා මන්ත්‍රීවරයා කට්ටියක් එක්ක අරක්කු බිබී හිටියා. මාව දැක්ක විතරයි දුමින්ද මන්ත්‍රීවරයා නැගිටල මගේ ගාවට ආවා. එයා පස්සේ තව දෙතුන් දෙනෙක් ආවා. එකපාරටම දුමින්ද මගේ මුහුණට පහරක් එල්ල කළා. පස්සේ අනිත් අය පහරදුන්නා.“ තමාට එල්ල වුණු මැර ප්‍රහාරය ගැන සිරිල් පතිරණගේ   පවසන්නේ එවැන්නකි.

පහර කෑමෙන් තුවාල ලැබූ තමාව කිරිබත්ගොඩ රෝහලට ඇතුළු කෙරුණු බවත් අනතුරුව රාගම රෝහලට මාරු කෙරුණු බවත් ඔහු පවසයි. රාගම රෝහලින් අක්ෂි පරීක්ෂාවක් සඳහා තමාව කොළඹ ඇස් රෝහලට  රැගෙන පැමිණි බවද ඔහු කියයි.

“කිරිබත්ගොඩ වයි.එම්.බී.ඒ. එක ඉස්සරහා තියෙන පොදු වෙළද සංකීර්ණයට අයත් ඉඩම විකුණන්නයි මේ අයට ඕනේ. පෙට්ටි කඩ කිහිපයක් හදල දැනටමත් විකුණලත් ඉවරයි. ඒ ඉඩම පිරිසිදු කරල ඉන්ටර්ලොක් ගල් අල්ලල අපි ඒක පාක් එකක් කළා. ඒකට තමයි මේ අය අපි එක්ක විරුද්ධ. පොදු වැසිකිලියෙනුත් මේ අය සල්ලි ගන්නවා. අපිට මේ පාක් එක හැදුවට විවෘත කරන්න බාධා තිබුණා. පොලීසිය ඉන්නේ එයාලගේ පැත්තේ. පොලීසියෙනුත් අපිට හිරිහැර සිදුවෙනවා. මම පාක් එකේ අල්ලපු ගල් ගැලෙව්වා කියල බොරු නඩුවකටත් පැටලෙව්වා. අපිට මේව කියන්න කෙනෙක් නැහැ. ඒ නිසා මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහත්මයාට මේ ගැන කීවා. එතුමා තමයි අපිට කීවේ පාක් එක විවෘත කරන්න කියල. එතුමා අපිට කීවා මේ ගැන ජනාධිපති තුමාවත් දැනුවත් කලා කියල. ඒ අනුව අපි පාක් එක විවෘත කලා. පොලීසියටත් කරන්න දෙයක් තිබුණේ නැහැ. ඔය තරහාට තමයි මට ගැහුවේ.“ යැයිද සිරිල් පතිරණගේ මහතා සදහන් කරන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිරිල් පතිරණගේ කියන මේ කථාව නිවැරදි නම් පොලීසිය භාර ඇමතිවරයා වන සරත් වීරසේකර මහතාගේ උපදෙස් මත කිරිබත්ගොඩ රථ ගාල විවෘත කිරීමට මුල්වූ කිරිබත්ගොඩ පොදු වෙළද සංගමයේ ලේකම්වරයාට පහර දුන් සැකකරුවන් අත්අඩංගුවට ගනීමට කිරිබත්ගොඩ පොලීසිය සතියක් තිස්සේ කල්මරමින් සිටින්නේ ඔහුට වඩා ඉහළ බලවත් දේශපාලනඥයෙකුගේ බලපෑමකට පොලීසිය යටවී සිටින නිසාදැයි කිරිබත්ගොඩ ජනතාව මේ වන විටත් ප්‍රශ්නකරමින් සිටිති.

Exit mobile version