කැඳ උගුරකට හාල් මිටක් නැතිවෙන්න යන රටක මෝල්ලු “ගේමක“! – ලාබ රට හාල් පිරිසිදු කර දේශීය සන්නාම යටතේ වෙළෙඳපලට…

Stocks-of-rice

විදේශ රටවලින් අඩු මිලට ආනයනය කරන ලද සහල් මෙරට ප්‍රධාන පෙළේ මෝල් වලදී පිරිසිදු කර දේශීය වෙළෙඳ නාම යටතේ  වෙළෙඳ පොළට නිකුත් කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන්  පවසයි.

මෙයට අමතරව වියට්නාමයෙන් වී කිලෝව රුපයිල් 25-30 අතර මුදලකට ආනයනය කර රටේ පවතින වත්මන් දේශීය සහල් මිලටම ඒවා වෙළෙඳ පොළට නිකුත් කිරීමේ සැළසුමක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවද ඔහු පැවසුවේය.

ආර්ථික හා දේශපාලන අරාජිකත්වයෙන් මිදී ජනදිවිය නංවාලන තෙවැදෑරුම් ගොවිජන යෝජනාවලිය මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමට පිළිගැන්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු ඊයේ (25) මේ බව පැවසුවේය.

පසුගිය මාස් කන්නයේදී මෙරට සහල් නිෂ්පාදනය 60 % කින් පමණ පහත වැටුණු බවත් පොහොර නොමැති නිසා යල කන්නයේ වගා කටයුතුද ගොවීන් මේවන තෙක් ආරම්භ කර නොමැති බවත් පැවසූ  ගොවිජන එකමුතුවේ සභාපතිවරයා එළඹෙන අගෝස්තු මාසය වනවිට මේ රටේ බරපතල අහාර අර්බුදයක් පැන නගින බවද අවධාරණය කළේය.


එම ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා සද්ධාතිස්ස කුමාරයා කළාක් මෙන් වගා සංග්‍රාමයක් රටේ ආරම්භ කර වගා කළ හැකි සෑම බිම් අඟලකම වගා කටයුතු සිදුකළ යුතු බවද ඔහු කීවේය.

රටේ පවතින සහල් හිඟය පියවා ගැනීම සඳහා විදේශ රටවලින් සහල් ආනයනය කිරීමට ඩොලර් මිලියන 2000 ක් පමණ අවශ්‍යය බවත් අද රට පත්ව තිබෙන තත්ත්වය අනුව එවැනි ඩොලර් ප්‍රමාණයක් සොයා ගැනීමට නොහැකි බවත් ඔහු කීවේය.

ඉන්දියාවෙන් පොහොර මෙට්‍රික් ටොන් 65000 ක් ලබාදෙන බව පැවසුවත් එය රටට පැමිණෙන දිනයක් කිසිවෙකුත් නොදන්නා බවත් රජය ලබාදෙන බව කියන රුපියල් 10000 යේ පොහොර මිටි කොතනකවත් නොමැති බවත් කී සභාපතිවරයා මෙම පසුබිම තුළ ගොවීන් යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම කල්දමමින් සිටින බවද පෙන්වා දුන්නේය.

මාස් කන්නයේදී මෙන්ම යල කන්නයේදීත් අස්වැන්න අඩුවුව හොත් රටේ විශාල සාගතයක් ඇතිවීම කිසිවෙකුට වැලැක්විය නොහැකි බවද ද ඔහු කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනතාව පාරට බැස ගෑස්,පොහොර,ඉන්ධන ඉල්ලත්දී ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධනයක් ලබාදීමට යන බවත් ඊට පෙර ජනතාවට ජීවත් වීමේ පසුබිම සකස් කළ යුතුව තිබෙන බවත් හෙතෙම පැවසුවේය.

Exit mobile version