ක්‍රිකට් ආයතනය නිලවරණය ඉලක්ක කරන් තිස් අට කෝටි අසූපන් ලක්ෂයක් බෙදලා…

තොරතුරු දැනගැනීමේ පනතින් ලබා ගත් තොරතුරුවලින් හෙළිවේ...පිරිසක් අධිකරණයට යෑමේ සැලසුමක්...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිලවරණය ඉලක්ක කර අනුබද්ධ ඡන්ද හිමි ක්‍රීඩා සමාජ සඳහා රුපියල් මිලියන 338.5 ක් බෙදා දී  ඇතැයි වාර්තා වේ.

සන්ඩේ ටයිම්ස්  පුවත්පත තොරතුරු දැනගැනීමේ පනත යටතේ සිදුකළ විමසීමකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිලවරණය ඉලක්ක කර මෙසේ රුපියල් මිලියන 338.5 ක් බෙදා දී ඇතැයි අනාවරණය වී ඇත.

මෙහි සඳහන් රුපියල් මිලියන 338.5 ක මුදල ක්‍රිකට් යටිතල පහසුකම් සංවර්ධනය හා දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් වැටුප් ලෙස පසුගිය වසර දෙක තුළදී සිදුකර ඇති වියදම් පමණක් බව වාර්තා වේ.   2019 වසරේදී සාමාජික සංවර්ධන හා වාර්ෂික ප්‍රදාන ලෙස රුපියල් මිලියන 125 ක් ලබා දී ඇත. එහෙත් පසුගිය වසරේදී සාමාජික දායකත්වය    රුපියල් මිලියන 213.9 ක් ලෙස ඉහළ ගොස් ඇත. එය 2019 වසරට සාපේක්ෂව රුපියල් මිලියන 88.9 ක ඉහළ යාමකි.


ක්‍රිකට් සංවර්ධන අරමුදල් ලෙස පාලක සමාජ 29 අතර රුපියල් මිලියන 35.1 ක් බෙදා දී  ඇතැයි ද ඒ අතරින් රාගම ක්‍රිකට් ක්‍රීඩා සමාජය වැනි ප්‍රමුඛ පෙළ හා අනුබද්ධ ක්‍රීඩා සමාජ 22 ක් සඳහා බෙදා දී ඇත්තේ   රුපියල් මිලියන 12.5 ක් පමණක්  බව ද එම වාර්තා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  ක්‍රීඩාංගණ, සමාජ ශාලා, ගෘහස්ථ සංවර්ධනයට  යැයි කියමින්  තවත් ව්‍යාපෘති 20 කට රුපියල් මිලියන 116 කට අධික මුදලක් ලබාදී තිබේ. මෙම මුදල් බෙදිල්ලේ විශාලතම ප්‍රතිලාභියා වී ඇත්තේ ක්‍රිකට් ආයතන සභාපතිවරයා විසින්   සභාපතිත්වය දරන  කොළඹ ක්‍රිකට් ක්‍රීඩා සමාජයයි (CCC).  එම ක්‍රීඩා සමාජය රුපියල් මිලියන 20 ක් ලබාගෙන ඇත. ඒ රුපියල් මිලියන 10 ක් ප්‍රදානයක් ලෙසත් ඉතිරි රුපියල් මිලියන 10 ණයක් ලෙසත්ය.   එහෙත් කෝල්ස් ක්‍රිකට් ක්‍රීඩා සමාජය ඇතුලු ක්‍රීඩා සමාජ 5 ක් සඳහාම සංවර්ධන කටයුතු වෙනුවෙන් ලබා දී ඇත්තේ රුපියල් මිලියන 10 ක් පමණයි. ඒ එක් ක්‍රීඩා සමාජයකට රුපියල් මිලියන 2 බැගිනි.

කෙසේ වෙතත් ක්‍රීඩා සමාජ ගොඩනැගිල්ලක් හෝ හෝ නැති තෙවන පෙළ ක්‍රීඩා කරන කොළඹ නගරසභා ක්‍රීඩා සමාජය වැනි ක්‍රීඩා සමාජ  සදහා අනවශ්‍ය ලෙස රුපියල් මිලියන ගණන් වැය කිරීම හුදෙක් ඡන්ද මිලදී ගැනීමක් බව විචාරකයෝ කියති. නෝ මෑන්ස් ක්‍රීඩා සමාජය සඳහා ලබා දී ඇති රුපියල් මිලියන ගණන, වැටී ඇත්තේ එම ක්‍රීඩා සමාජ ගිණුමටද නැත්නම් එහි හිමිකරු ගේ ගිණුමටද යන්න ගැටලුවක් බව ඔවුහු පෙන්වා දෙති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙසේ වැය කර ඇති මුදල් ඡන්ද වෙනුවෙන් ක්‍රීඩා සමාජයට ගොස් ඇත්ද නැත්නම් ක්‍රීඩා සමාජ පාලකයන්ගේ සාක්කු පුරවා ඇත්දැයි සොයන ලෙස අධිකරණයෙන් ඉල්ලීමටත් පාර්ලිමේන්තු කෝප් කමිටුවට පැමිණිලි කිරීමටත් පිරිසක් සූදානම් වන බව වාර්තා වේ.

Exit mobile version