කළු කුරුල්ලා 21ට කොටයි ද?… පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසියන් පිළිබඳ අවසන් තීන්දුව වැට උඩ…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්  අද රැස්වන කැබිනට් මණ්ඩලයේ  අනුමැතියට  ඉදිරිපත් වන  21 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙන්   ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරී‍මේ අවස්ථාව  අහෝසි කිරීමේ වගන්තිය ඉවත් විමට ඉඩක් ඇති    බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ඊයේ (05) සවස අධිකරණ ඇමති විජේදාස  රාජපක්ෂ, අගමැති රනිල් වික්‍රමසිංහ සමග පොහොට්ටුව පාර්ශවයේ මන්ත්‍රීවරුන් 12 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මේ සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබිණි.

එහිදී පොහොට්ටුව පාර්ශවයෙන් කරුණු දක්වමින් පවසා ඇත්තේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට මේ අවස්ථාවේ දී ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තුව නියෝජනය කළ නොහැකිය යන යෝජනාව රැගෙන එන්නේ බැසිල් රාජපක්ෂ ඉලක්ක කරගෙන බවය.    ඒ තත්ත්වය  ආණ්ඩුවේ සමගියට බරපතල ලෙස බාධා පමුණුවන්නේ යැයි ද ඔවුන්  දක්වා ඇත.

පොහොට්ටුව  යෝජනා කර ඇත්තේ ආණ්ඩු කාලය අතරමැද  මෙවැනි සංශෝධන රැගෙන විත් පුද්ගලයෙක් පාර්ලිමේන්තුවෙන් පලවා හැරීම සුදුසු නැති බැවින් නව රජයක් යටතේ තව දෙවසරකින් පසු එවැනි සංශෝධනයක්  රැගෙන එන්නට අවසථාව සලසා දිය යුතු බවය.


21 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳව  අවස්ථා දෙකකදී සාකච්ඡා කර තිබිණි.  මෙහිදි පක්ෂ නායකයින් ඉදිරිපත් කර ඇති සංශෝධන  වැඩි දුරටත් සාකච්ඡා කර කෙටුම්පතට ඇතුළත් කර තිබිණි.

කෙසේ වෙතත් මේ සියලුම පක්ෂ නායකයින්ගේ ප්‍රමුඛ යෝජනාව වී ඇත්තේ ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අයිතිය අහෝසි කරන යෝජනාවය.  පොහොට්ටුව විසින් ආණ්ඩුවේ සමගිය සම්බන්ධව කේවල් කරමින් ඉවත් කිරීමට ප්‍රබලව බලපෑම් කරන්නේත් මේ යෝජනාවය. එය සම්බන්ධව අවසන් තීරණය අද ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම  අද දිනයේ තවත් වැදගත් යෝජනා දෙකක් කැබනට් මණ්ඩලයට ඉදිරිපත් වීමට නියමිතය. එකක්  වගා නොකර   භුක්තියේ  තබාගෙන ඇති රජයේ ඉඩම් යළි රජයට පවරාගෙන වගා ව්‍යාපෘති ආරම්භ කිරීමේ යෝජනාවය.  අනෙක් යෝජනාව විදුලි බිල සංශෝධනය කිරීමේ යෝජනාවය.

Exit mobile version