කරුණාගේ මිනීමරු ප්‍රකාශයෙන් පොහොට්ටුව ගොළු වේ

පැහැදිලි කිරීමක් ගන්න කෙනෙක් නෑ... කරුණාගේ දුරකථනයත් ගොළු වෙලා...

ත්‍රිවිධ හමුදාවේ පන්දහසක් තමන් විසින් ඝාතනය කළ බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උප සභාපති අම්පාර දිස්ත්‍රික් මැතිවරණ අපේක්ෂක වත්මන් ආණඩුවේ හිටපු අමාත්‍ය කරුණා අම්මාන්  සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධව කඩිනමින් ඔහුට එරෙහිව පියවරක් ගන්නා ලෙස එම පෙරමුණේ ක්‍රියාකාරීන් අගමැති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර තිබේ.

කරුණා අම්මාන් සිදුකර තිබෙන ප්‍රකාශය ඉතා බරපතල එකක් බවත්, ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පියවරක් නොගතහොත් විපක්ෂය මෙම ප්‍රකාශය මැතිවරණ ව්‍යාපාරයේ දී අවියක් කරගනු ඇති බවත් ඔහුන් පෙන්වා දී ඇත.

මේ අතර පොදු ජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයින් කීප දෙනෙක් දුරකථන මාර්ගයෙන් ඔහුව සම්බන්ධ කරගෙන සිදුකර ඇති මෙම ප්‍රකාශ සම්බන්ධව දැඩිව අවවාද කර ඇති බව අනාවරණය වේ.


මැතිවරණයට සූදානම් මෙින් ඇති අවස්ථාවක පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙක් මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීමෙන් විපක්ෂයට අවි ලබා දීම මෙන්ම දකුණේ ජනතාව ආණ්ඩුව කෙරෙහි ඇතිකරගෙන ඇති විශ්වාසය බිඳ දැමීම සිදුවන බවත් ඔවුන් කරුණා අම්මාන්ට පෙන්වා දී තිබේ.

කරුණා අම්මාන් සිදුකර තිබෙන මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම මෙම පෙරමුණේ හවුල්කාර පක්ෂවල ක්‍රියාකාරිකයන්ගෙන් ලංකාසර කරුණු විමසා සිටිය ද ඔවුන් සියලු දෙනා මේ සම්බන්ධව අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ.

මේ සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ක්‍රියාකාරිකයෙක් කියා සිටියේ කරුණා අම්මාන් සිදුකර ඇත්තේ පිස්සු ප්‍රකාශයක් බවය.

මැතිවරණය කටමුල තබාගෙන කරන මෙවැනි ප්‍රකාශ ඡන්ද ව්‍යාපාරයම ව්‍යසනයට ලක්කරන බව කී ඔහු මේ සම්බන්ධව අගමැතිවරයා ඉදිරියේ දී නිසි පියවර ගනු ඇතැයි බලාපොරොත්තු වන බව ද කීය.

ත්‍රිවිධ හමුදාවේ පන්දහසක් ඝාතනය කළ බවට කරුණා අම්මාන් කී ප්‍රකාශය සම්බන්ධව අදහස් විමසීමට දුරකථන මාර්ග ඔස්සේ ඔහුව සම්බන්ධ කරගැනීමට කළ සෑම උත්සාහයක්ම ව්‍යර්ථ වූයේය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


.

 

 

 

Exit mobile version