ලලිත් චාමින්ද
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් 100 දෙනකුගේ පමණ හිඟයක් පවතින අතර මෙම තත්ත්වය නිසා රෝගී සත්කාරක සේවා පවත්වාගෙන යාමේ දී ගැටලු රැසක් ඇති වී තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් රෝහල තුළ අලුතෙන් ඉදිකරනු ලැබූ ශල්‍යාගාරයක් හා දැඩි සත්කාරක ඒකකය භාවිතයට ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත. කරාපිටිය ශික්ෂණ රෝහල සඳහා වෛද්‍යවරු 556 දෙනෙකු අවශ්‍ය වුවත් දැනට සිටින්නේ වෛද්‍යවරු 460 දෙනෙකු බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් ඇතැම් සායනික අංශ පවත්වාගෙන යාමේදී ගැටලු ඇති වී තිබෙන අතර මෙම තත්ත්වය නිසා රෝගීන්ද දැඩි දුෂ්කරතාවන්ට හා අපහසුතාවන්ට මුහුණ දෙති.
මේ පිළිබඳ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය එස්.පි.යු.එම්. රංග මහතාගෙන් අප කළ විමසුමකදී මෙසේ කීවේය.
වෛද්‍යවරුන් 100 දෙනෙකුගේ පමණ හිඟයක් තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් ප්‍රමාණවත් තරම් වෛද්‍යවරුන් ලබා නොදීම තමයි මෙම තත්ත්වයට හේතු වෙලා තියෙන්නේ. ඉල්ලන වෛද්‍යවරු සංඛ්‍යාව අමාත්‍යංශය මඟින් ලබා දෙන්නේ නැහැ. එමෙන්ම විභාග සමත්වෙලා ඇතැම් වෛද්‍යවරු විදේශගත වීමත් මේ සඳහා තවත් හේතුවක්. වෛද්‍යවරුන් නොමැතිකම නිසා අලුතෙන් ඉදිකොට ඇති ශල්‍යාගාරයක් හා දැඩි සත්කාර ඒකකයක් විවෘත කිරිමට නොහැකි වෙලා තියෙනවා. ඇතැම් අංශවල විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් තියෙනවා. නමුත් එය එතරම් බලපැමක් නැති බවද රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.