කබ්රාල්ගේ මහ බැංකු අධිපතිකමට එරෙහි පෙත්සම් ගැන තීරණය ලබන 3දා

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත්කිරීමට එරෙහිව ගොනුකර ඇති රිට් පෙත්සම විභාගයට අදාළ නියෝගය ලබන මස 03 වනදා ප්‍රකාශයට පත් කිරීමට  අභියාචනාධිකරණය අද (12) තීරණය කර තිබේ.

ඒ අනුව  මූලික විරෝධතා  පිළිගෙන  පෙත්සම ඉවත දමන්නේ ද නැතහොත් පෙත්සම ඉදිරියටත් විභාග කිරීම සඳහා වගඋත්තරකරුවන් වෙත නොතිසි නිකුත් කරන්නේ ද? නැද්ද? යන්න තීරණය එදින ප්‍රකාශයට පත්කරන බව විනිසුරු මඩුල්ල කීය.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ නීතිපතිවරයා, පොලිස්පතිවරයා, හිටපු අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, ජනාධිපති ලේකම්, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ටී.එම්.ජේ. වයි.පී. ප්‍රනාන්දු යන අයයි.


දකුණු පළාත් හිටපු ආණ්ඩුකාරවරයෙකු වන රජිත කීර්ති තෙන්නකෝන් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම අද කැඳවිණ.

2006 ජූලි සිට 2015 ජනවාරි දක්වා කාල සීමාව තුල මහ බැංකු අධිපති ධූරය දැරූ අජිත් නිවාඩ් කබ්රාල් පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස 2021 සැප්තෑම්බර් 13 දින දක්වා කටයුතු කර ඇති බව පෙත්සමෙහි සදහන් වේ.

මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් ඉදිරිපත් කළ නිර්දේශ මත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වෝහාරික විගණනයක් සිදුකර ඇත.

එම වෝහාරික විගණන වාර්තාවට අනුව වග උත්තරකාර අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති වශයෙන් කටයුතු කළ 2005 – 2015 වසර දක්වා කාලසීමාව තුළ රජයට රුපියල් බිලියන 10.4 ත් 10.6 අතර පාඩුවක් සිදුවී ඇති බව වාර්තා ගත කර ඇති බව පෙත්සමෙහි සදහන් වේ.

එසේම ඔහු මූලිකත්වය දැරූ හෙජින් ගිවිසුම හරහා ද ශ්‍රී ලංකා රජයට ඇමරිකානු ඩොලර් මිලියන 200ක  පාඩුවක් සිදුවී ඇති බවද පෙත්සම්කරු සිය පෙත්සමෙන් පෙන්වා දී ඇත.

ඔහු මහ බැංකු අධිපති ධූරයට නැවත පත් කිරිම මගින්, අපරාධමය වරදකට සම්බන්ධ මහ බැංකුවේ සතු සාක්ෂි විනාශ කිරීමට, වෙනස් කිරීමට හා සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට අවස්ථාවක් හිමිවන බව ද  පෙත්සමෙහි සදහන් වේ.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා අධිපතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ශ්‍රී ලංකා මහ බැංකුවට සිදුවූ අලාභ ඇතුළත් වෝහාරික විගනන වාර්තාව එම බැංකුව විසින් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබුණද මේ දක්වා ඔහුට එරෙහිව නීතිමය  පියවර ගෙන නොමැති  බවට  පෙත්සම්කරු චෝදනා කර සිටී.

එබැවින් වෝහාරික විගණන වාර්තාවේ නිර්දේශ මගින් චෝදනා ලැබ සිටින අජිත් නිවාඩ් කබ්රාල් මහතා අත්අඩංගු වට ගෙන රදවා තබා ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස ද, ඔහුට  එරෙහිව   නීති මගින් කටයුතු කරන ලෙසට සහ නඩු  පැවරීමට පියවර ගන්නා ලෙසද පොලිස්පති වරයා,   නීතිපති වරයා   ට නියෝග කරන මැන්ඩාමුස් රිට් ආඥා  නිකුත් කරන ලෙස ද මෙම පෙත්සම මගින් වැඩි දුරටත් ඉල්ලා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස ක්‍රියා කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

Exit mobile version