කප්පම්කරුවෝ පන්සලට ආවේ දේශබන්දු තෙන්නකොන් ගේ කණ්ඩායමක් විදිහට

කප්පම් සිදුවීමට මුහුණ දුන් බලපිටියේ අධිකරණ සංඝනායක හිමියෝ කියති

File photo

පොලිස් නිලධාරීන් බව පවසා තමන්ට මුදල් එන ක්‍රම අනාවරණය කරන ලෙසත් රුපියල් ලක්ෂ 10ක මුදලක් තමන්ට ලබා නොදුනහොත් ප්‍රශ්න රැසකට මුහුණ දෙන්නට සිදුවන බවත් පවසා තමාගේ මුදල් කප්පම් ගැනීමට උත්සාහ ගත් කල්ලිය කළ බලපෑම මත තමන් වහන්සේ දැඩි කම්පනයට ලක්වූ බවත් මෙම කප්පම්කරුවන් පන්සලට පැමිණි අවස්ථාවේ වාසනාවකට මෙන් ආගමික කටයුත්තක් සදහා පැමිණි පොලිසියේ සේවය කරන නිලධාරියකු නිසා තමන්ගේ ජීවිතය බේරා ගත හැකිවූ බවත් බලපිටිය පාතේගම යෝගාශ්‍රම විහාරාධිපති බ්‍රාහ්මණවත්තේ විමලවාසතිස්ස හිමියෝ ලංකාසරට පැවසූහ.

ලංකාසර මාධ්‍යව්දියකු අද මෙම විහාරස්ථානයට ගිය අවස්ථාවේ අප වෙත අදහස් දැක්වූ උන් වහන්සේ තමන් මුහුණ දුන් සිදුවීම විස්තර කළේ මෙසේය.

පසුගිය 18 වැනිදා රාත්‍රී කණ්ඩායමක් ආවා. වාහනයකින් . මේ අය ආවේ පොලිසියේ කියල. ඔවුන් කීවේ බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්තයාගේ ඒකකයකින් කියල.


එක් පුද්ගලයෙක් තමන්ගේ පොලිස් නිල හැඳුනුම්පතත් පෙන්නුවා. ඔවුන් මගෙන් ඇහුවා තමන් වහන්සේට සල්ලි එන විදිහ කියන්න. නැතිනම් ප්‍රශ්න ගොඩක් වෙයි. කියල. ඔවුන් දිගින් දිගටම මගේ ප්‍රශ්න ඇහුවේ ස්වාමීන් වහන්සේ නමකගෙන් නෑසිය යුතු ඉතාම අශීලාචාර විදිහට. මේ සල්ලි එන මාර්ග කිව්වේ නැත්නම් ගෙනියන්න වෙනවා කියල කිව්වා. එහෙ ම කිව්වේ ඔය අත්අඩංගුවට පත්වෙලා ඉන්න නුවන් කියන හබරාදූව ප්‍රාද්ශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයා. ඔහු කීවා මාව වාහනේට දාගන්න කියල. ඊට පස්සේ ප්‍රශ්න ගොඩක් ඇති වෙයි. මේක මෙතනින් ඉවර කරන්න නම් සල්ලි ලක්ෂ 10ක් වත් දෙන්න කියල කිව්වා. මම කිව්ව එහෙම දෙන්න සල්ලි මා ළඟ නෑ. ඕන නම් මගේ බැංකුවේ ලක්ෂ එකහමාරක් දෙකක් විතර ඇති ඒක දෙන්නම් කියල. එහෙනම් ඒක ගන්න යමු කියල කිව්වා.

මේ වෙලාවේ ආගමික කටයුත්තක් සඳහා පොලිසියේ මහත්තයෙක් මගේ වාසනාවට ඇවිත් හිටියා. ඔහුගේ මේ කලබලය ගැන තේරිලා මේ පොලිසියෙන් වෙන්න බෑ කියල ටිකක් සොයාබලා තිබෙනවා. ඒ වෙලාවේ ඔවන්ට ඒක තේරිලා ඔවුන් මාව අතහැරල හෙමින් සැරේ ගියා. නමුත් ඔවුන් මට රාත්‍රියේදිත් දුරකථනයෙන් කතා කරල මුදල් ඉල්ලුවා. අවසානයේ පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව ඔවුන් අත්අඩංගුවට ගන්න පුළුවන් වුණා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙසේ අහුන්ගල්ල පොලිසියේ අත්අඩංගුවට පත් පොලිස් හැඳුනුම්පත ඉදිරිපත් කළ පුද්ගලයා නොට්න්බ්‍රිජ් පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස හඳුනාගෙන ඇති අතර හබරාදූව ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රි නුවන් නැමැත්තා ඇතුළු සැකකරුවන් හය දෙනකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.

Exit mobile version