කටුනායක ගුවන්තොටුපල කස්ටම් එක ගුවන්තොටුපල ආරක්ෂාවට තර්ජනයක් වෙලා…

කිර්ති ප්‍රනාන්දු – 

කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයට ඇතුලුවන   අතිවිශේෂ ප්‍රභූවරුන් හැර බුද්ධි අංශ ඇතුළු සියලුම නිලධාරීන් තරාතිරමක් නොමැතිව පරීක්ෂාවට ලක් කෙරෙද්දී එම ආරක්ෂක නීතීන්  උල්ලංඝණය කරන රේගු නිලධාරීන් නිසා ගුවන්තොටුපල ආරක්ෂක අංශ දැඩි පීඩනයකට පත් වී ඇතැයි ගුවන්තොටුපල ආරංචි මාර්ග හෙළි කරයි.

සිය රාජකාරි බලයමත රේගු නිලධාරීන් කිසිවෙක් තමන්ගේ බෑගයක්වත් පරීක්ෂාවට ලක් කිරීමට ඉඩ නොදෙන බවත්,  රේගුවේ සුළු සේවකයන් පවා මේ බලය පාවිච්චි කිරීම බරපතල ප්‍රශ්නයක් බවත්  එම ආරංචි මාර්ග කියයි.

මේ සම්බන්ධව ආසන්නම සිද්ධිය ඊයේ වාර්තා වී ඇත.  රේගු නිලධාරීන් ගුවන් තොටුපල බහාලුම් ගබඩාව වෙත නියමිත නෛතික ක්‍රමවේදයෙන් තොරව සිය බලය පාවිච්චි කරමින් ඇතුළු වීමට කළ උත්සාහය ගුවන්තොටුපල ආරක්ෂක අංශ විසින් වළක්වා තිබේ.  නියමිත ක්‍රමවේදය නම් පෝරමයක් පුරවා නිශ්චිත අවසර පත්‍රයක් සහිතව ඇතුළුවීමය. රේගු නිලධාරීන් මෙම පෝරමය පිරවීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ආරක්ෂක අංශ සමග මෙම බහින්බස්වීම ඇති වී තිබේ.


“ මේක කාලයක් තිස්සෙ තියන ගැටලුවක්. රේගුවෙ නිලධාරීන් කිසිවෙක් නෛතික ක්‍රමවේදයට අනුව ගුවන්තොටුපලේ යම් යම් ප්‍රදේශවලට පිවිසීමට අවසර පත්‍ර ලබා ගැනීම  ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් සිය රාජකාරි නිල හැඳුනුම්පත පෙන්වලා තමයි ඒ ස්ථානවලට ඇතුළු වෙන්නෙ. ඒ වගේම කස්ටම් එකේ සුලු සේවකයෙකුගෙවත් බෑග් එකක් අපට චෙක් කරන්න දෙන්නෙ නෑ. මෙතන තියෙන්නෙ ආරක්ෂාව පිළිබඳ ගැටලුවක්.  දාහක් වගකීම් සහිත අය ඉද්දි එක් පුද්ගලයෙක් මෙහෙවා කරන්න පුලුවන් විනාශයන් අපි ලෝකයෙ අත්දැකලා තියනවා. මෙතන තියෙන්නෙත් ඒ වගේ ගැටලුවක්.  මේක රටේ ජනාධිපතිවරයා ඇතුළු ගුවන්තොටුපලට පැමිණෙන අන්තර්ජාතික තලයේ සියලුම ප්‍රභූ ආරක්ෂාවටත් වක්‍රාකාරයෙන් යම් විදිහකට බලපානවා.“

එම ආරංචි මාර්ග අපට තත්වය පැහැදිලි කරන්නේ ඒ ලෙසය.  ආරක්ෂක හේතුන් මත කාර්ය මණ්ඩලය  පවා පරීක්ෂා කරන විට  රේගුවේ නිලධාරීන් පරීක්ෂාවට ලක් නොවීම බරපතල ගැටලුවක් බව එම ආරංචි මාර්ග යළිත් පෙන්වා දුන්නේය.

මේ පිළිබඳව ගුවන්තොටුපල ආරක්ෂක අංශයෙන් විමසූ විට ආරක්ෂක අංශ ප්‍රධානියෙක් ප්‍රකාශ කළේ  රේගු නිලධාරීන්ට තමන්ගේ  හැඳුනුම්පතෙන් අවසර පත්‍රයක් ලබා නොගෙන යා හැකි තැන් තිබෙන බවය. ඔවුන්ට සිය රාජකාරි කිරීම සඳහා බාධාවකින් තොරව අවසර ලබා දීම ආරක්ෂක අංශවල වගකීම බවත් ඔහු පැවසුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් රාජකාරි සඳහා අවසර නොමැති ස්ථාන වෙත ප්‍රවේශයේ දී  අවසර පත්‍රයක් ලබා ගැනීමට  ඔවුන්ට සිදුවන බවත් ඔහු පැවසුවේය.

 

Exit mobile version