ඒ මියුරු දීකිරිත් රැගෙන… බලා ඉමු ඔබ යළිත් එන්න…

ඇය යළිත් නොඑන්නීය.

සුහවස් ප්‍රේක්ෂක සහෘදයන්ගේ මනස පුබුදුවමින් අප්‍රමාණ රංග ප්‍රභාවක් විදා හළ  ප්‍රවීණ රංගවේදිණී අනුලා බුලත්සිංහල  අද(16)  අභාවප්‍රාප්ත වූවාය.

මලොව හැර යන විට ඇය 73න් වන වියේ පසුවූවාය. අසනීප තත්වයක් හේතුවෙන් ඇය මීට තෙදිනකට පෙර රෝහල් ගත කර තිබිණි. ඇය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියා.


රතු හැට්ටකාරි, තාරාවෝ ඉගිලෙති, මධුර ජවනිකා, කු‍වේණි, මහාසාර,  ලෙඩෙක් නැති ලෙඩක්, චරිත දෙකක් වැනි වේදිකා නාට්‍යවලදී ඇය දැක්වූ අනුපමේය රංගන ප්‍රභාව සහෘද හදවත් තුළ නොමැකෙන සේ නිදන් වී තිබිණි.

මෑතක දී  නිල් දිය යහන, ගෝල් වැනි සිනමාපටවලදී ද ඇය ස්වකීය රංග ප්‍රභාව පෙන්වූවාය. අසන්ධිමිත්තා සිනමාපටයට අනුලාවන් අවසන් වරට රංගනයෙන් දායක වී තිිබිණි.

ගීත සාහිත්‍ය තුළ ඇය තැබූ අනන්‍යතාවය සුවිශේෂී එකකි.  දී කිරි දී කිරි, නෙයිනගේ සූදුව, රඟහල දැන් ඇත අඬ ඇඳුරේ, පන්සල පාමුල, බුදුන් වඳින මේ දෑතින්, සුදු ඔසරිය ඇඳලා වැනි  ගීත  හරහා ඇය සිංහල ගීතාවලිය රසාලිප්ත කළාය.

මේ විශිෂ්ට කලාකාරිනීය මීට නොබෝ දිනකට පෙර පැවති මෙවර රාජ්‍ය නාට්‍ය උලෙළේදී ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන නාට්‍යකීර්ති සම්මානය  පිදුම් ලැබුවාය.්‍

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හෙට(17) උදෑසන සිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ, ප්‍රභූන් සඳහා වෙන්කෙරුණු ශාලාවේදී දේහය තැන්පත් කරනු ලැබේ. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (17) බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.

Exit mobile version