ඒ දොස්තර මහත්තයා උන්නෙ දෙවියන්ටත් උඩින්….

කීර්ති ප්‍රනාන්දු – 

ව්‍යසනය ජාවාරමක් කරගත් අශික්ෂිත මිනිසුන් අතර මනුස්සකම පිළිබඳ ඇසෙන වචන මාත්‍රයක් ප්‍රමාණවත්ය. ඒ එක් සඳහනක් තවමත් වඳවී නැති බෝසත් මිනිස්සු ගැන කියා දෙයි.

වෛද්‍ය වෘත්තිය තුළ අතලොස්සකගේ පටු ආධානග්‍රාහී හැසිරීම සමස්ථ වෘත්තියම නිග්‍රහයට පත් කළත් උත්තුංග මිනිස්සු තවමත් ඒ වෘත්තිය බබලවති.

මේ කතාව ඇසුනේ බදුල්ල රෝහලෙනි.  වෛද්‍ය පාලිත රාජපක්ෂ බදුල්ල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයාය. සිදුවීම වාර්තා වන්නේ ඊයේ  (06) සවස 4ට පමණය.

නොදරුවෙක් රෝහලට රැගෙන ආවේය. වතු ආශ්‍රිත පරිසරයක වැඩෙන පොඩි එකෙකි.  දරුවා දින ගණනාවක් උණ රෝගයෙන් පෙළෙමින් සිට තිබිණි.


රෝහලට ගෙන එන්නේ අන්තිම අමාරු මොහොතේය. පොඩි එකා හුස්ම ගන්නෙ ආයාසයෙනි. පෙනහළු ආසාදනය වී  නිව්මෝනියා තත්ත්වයක් තෙක් රෝගය තීව්‍ර වී ඇති සෙයකි.  කඳුළු පිරුණු දෑසින් පොඩි එකා බලා හිඳී.

වෛද්‍ය පාලිත රාජපක්ෂ දරුවා කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයට යොමු කළේය. ශ්වසන ආධාරත් සමග  දැන් දරුවාගේ පෙනහළු ක්‍රියාත්මකය.

දරුවාගේ බඩ පිරී ඇත. මේ අවස්ථාවේ දී බඩ හිස් නොකළහොත්  එම දියර පෙනහලු කරා පැමිණ නැවත දරුවාගේ මරණය  සහතික කරනු ඇත.

ආමාශගත දේ ඉවත් කිරීමට දරුවාගේ  මුඛයෙන් ආමාශය වෙත බටයක් යැවිනි.  එහෙත් එම බටය චූෂණ යන්ත්‍රයේ මුවවිටට සවි වන්නේ නැති තරම් කුඩාය.

වෛද්‍ය පාලිත රාජපක්ෂ බටයේ කෙළවර සිය මුවට ගෙන දරුවාගේ ආමාශගත තරලය ඇද්දේය. සියල්ල මුවින් ඇද්දේය.

“ කරන්න දෙයක් තිබුණෙ නෑ ඒ වෙලාවෙ. පොඩි එකාගෙ ජීවිතේ ගැන විතරයි අපි හැමෝටම අවධානය තිබුණෙ. ඒ සියලු ද්‍රව්‍ය කටට ආවා.  ඇත්තටම කිසිම අපුලක් දැනුනෙ නෑ. පොඩි එකාට මූලික ප්‍රතිකාර ටික හරියට සිද්ධ වුනා. ප්‍රතිජීවක ඖෂධත් නියමිත මාත්‍රාවට ලැබුණා.  එයා ජීවත් වේවි.“

“ මතක තියාගන්න. මේ අපේ ජීවිතවල එක් සිද්ධියක් විතරයි. මේ වගේ ගොඩාක් දේවල් රෝගීන්ගේ ජීවිත බේරගන්න මේ සෞඛ්‍ය සේවකයො කරනවා. ඒ යථාර්ථය කියැවෙන්නෙ නෑ. මම මේ ගැන පුංචි සටහනක් තිබ්බෙ ඒ නිසා. ක්ෂේත්‍රයෙ අතලොස්සකගෙ හැසිරිම් නිසා සමස්ථ සෞඛ්‍ය පද්ධතියම ගර්හාවට ලක්වුනත් අවධාරණය නොවෙන පැත්තක් තියනවා.  මට දැන් අවුරුදු 53ක්. මං අතින්ම මේ විදිහට රෝගීන් දහස් ගණනක් සුව වෙලා ඇති. අපි බහුතරයකට මේ අත්දැකීම් තියනවා. “

වෛද්‍ය පාලිත අපට කීවේය. අප ඔහුව අමතන මුල් අවස්ථාවේදී ඔහු හිටියේ  හදිසි අවශ්‍යතාවයක් සදහා රෝහලෙන් පිටවි ගොසිනි.

“ ඔව්… දරුවෙකුට හුස්ම ගන්න බෑ කියලා පණිවිඩයක් ආවා. දරුවා හොස්පිටල් එකට ගේන්න විදිහක් නෑ ඒ අම්මලට.  කිලෝ මීටර පහක් විතර දුර. ඔක්සිජන් ටැංකියකුත් අරන් ඒ දරුවා බලන්න ගිහින් එන්න ගියා. “

වෛද්‍ය පාලිත රාජපක්ෂ කීවේය.

“ මම ඕෆ් වෙන්න හිටියෙ  හවස දෙකට… ඒත් පවතින තත්ත්වය උඩ  මම ටිකක් වෙලා හිටියා.  ජීවිත දෙකක් බේරගන්න පුලුවන් වුනා. මේක අපි හැමෝටම අමාරු කාලයක්. තමන්ගෙ රාජකාරියෙන් අඩියක් දෙකක් ඉස්සරහට ගිහින් වැඩ කරන්න අපි හැමෝම කටයුතු කළේ නැතිනම්  රට මේ තැනින් අපිට ගොඩගන්න ලැබෙන්නෙ නෑ…“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු කියනු අසා සිටියෙමි.

Exit mobile version