ඒ කඹ ඇදිල්ලෙන් දෙපැත්තම දිනුම්!

කඹ ඇදීම අපේ ලාංකීය ජාතික ක්‍රීඩාව වන තරමටම අපි කඹ ඇද ඇත්තෙමු.

ඒ කඹ ඇදිල්ලේ ප්‍රතිඵල කොච්චරද කියනව නම් අවුරුදු 74 ක්ම ඇදපු කඹ වල ප්‍රතිඵල හැටියට අද රටේ බහුතරයක් එල්ලෙන්න කඹයක්වත් නැත.

කඹ ඇදීමක දී එක් පාර්ශවයක් ජයගන්නේය.  ඉස්සරහට ගියොත් පරදින පස්සට යන තරමට දිනන ක්‍රීඩාවත් කඹ ඇදිල්ලමය. කොහොම උනත් මේ කියන්න යන කඹ ඇදිල්ල නම් දෙපැත්තම දිනපු වර්ගයේ කඹ ඇදීමකි.

පහුගිය දවසක ජිනීවාහි ශ්‍රී ලාංකිකයන්ගේ සංවිධානයේ ගිම්හාන සාදය පැවැත්විනි. මේ සාදය හැම අවුරුද්දකම සුපුරුදු ලෙසම කෙරුනත් කොරෝනා නිසාම අවුරුදු 2ක් එය පවත්වන්නට ඉඩක් ලැබුණේ නැත. මෙවර මේ හමුව පැවැත්වෙන්නෙ බොහෝ උණුසුම් හැඟීම් මධ්‍යයේය.

උත්සවයේ විචිත්‍රම අංගය වූයේ කඹ ඇදීමය. අම්මලා දූලා දෙපැත්තට බෙදී  කඹ ඇද්දහ. තාත්තලා පුතාලා දෙපැත්තට වී කඹ ඇද්දහ.


පරම්පරා දෙක්ක අතර ඇති විඝටනය කඹ ඇදීමකි. කොපමණ ආදරණීය වුවද අම්මලා දූලා තාත්තලා පුතාලා නොරොක් වන්නේ මේ පරම්පරා අන්තරය නිසාය.

තාත්තලාගේ පැත්තේ සද්දන්ත තාත්තලාය. පුතාලාගේ පැත්තේ කෙසඟ වුවත් ජවය සහිත තරුණයන්ය. බැලූ බැලුමට පෙනෙන්නේ තාත්තලා දිනන බවය. එහෙත් ආරම්භ සලකුණු වූ සැනින් සද්දන්ත තාත්තලා තමන්ගේ පැත්තට ඇදගන්නට කොල්ලෝ සමත් වූහ.  භූමියේ වාසිය බලන්නට පැති මාරු වුනේය. ඒත් අන්තිමට තාත්තලා තමන්ගේ පැත්තට ඇදගන්නට පුත්තු සමත් වූහ.

අනතුරුව අම්මලා – දූලා ගේ කඹ ඇදිල්ලය. බැලූ බැල්මටම අම්මලා කෙල්ලන් ටික ඇදගනු ඇතැයි සිතුනේය. එහෙත් අම්මලාට වුනේත් තාත්තලාට වූ සන්තෑසියමය. කෙල්ලෝ අම්මලා තමන්ගේ පැත්තට ඇදගත්තහ.

කොහොමත් ලෝකය එහෙමය. මොන පරම්පරා අන්තරය තිබුණත් අම්මලා තාත්තලා ඇදෙන්නේ දරුවන් ලඟටය.

පුතු සෙනේ මස් නහර හම සිඳ
ඇට සොයා ගොස් ඇට තුළට වැද
ඇට මිදුළු මත රඳා සිට දුක් දෙයි නිබන්දා – සරච්චන්ද්‍රයන් සිංහබාහු නාට්‍යයේ දී කීවේ එසේය.

ජිනීවා ගිම්හාන සැනකෙළිය සීතල හිම කඳු පන්ති අතරින් ලංකාවේ සිහිනයට පිරිස රැගෙන ගියහ. දවස පුරා ලාංකික ආහාරය. අවුරුදු ක්‍රීඩාය. ගැයුම් වැයුම්  ඇතුළු බොහෝ සංස්කෘතිකාංගය. අවසානයේ අම්මලා තාත්තලාත් පරාජය කළ දරුවන්ට ත්‍යාග ප්‍රදානයන්ය.

දේශීය ආහාර රස විඳමින්…

අප දුටුවේ දෙපාර්ශවයම ජයග්‍රහණය කළ කඹ ඇදීමක්ය. තමන්ගෙ පරාජය ගැන ආඩම්බර වන අම්මලා තාත්තලා තමන්ගේ දරුවන් දෙස බලන්නෙ ගර්වයෙනි.

අම්මලා තාත්තලා දරුවන් හදන්නේ තමන්ව පසුකරගෙන යන්නටය.

මංජුල හේරත්

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ස්විට්සර්ලන්තයේ ජිනීවා සිට

Exit mobile version