එවරස්ට් නගින්න යන සරසවි සෙට් එක… සරසවි කෙල්ලෙකුත් ඒ අතර….

මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශ්විද්‍යාල සිසු පිරිසක්  අභියෝගාත්මක ප්‍රවේශයකට සැරසෙති. ඒ  මුහුදු මට්ටමේ සිට මීටර් 6200 ක උසකින් පිහිටි එවරස්ට් කන්දේ අයිලන්ඩ් පීක් වෙත ළඟා වීමය. ඊට විශ්වවිද්‍යාල සිසුන් පස් දෙනෙකු සමඟ ඉංජිනේරු පීඨයේ  තෙවන වසරේ සිසුවියක් ද එක්ව සිටියි.

විශ්වවිද්‍යාල ගවේෂකයන්ගේ සංගමය 14 වැනි වරට එවරස්ට් කඳු තරණය මෙවර සංවිධානය කරයි. කණ්ඩායම් නායක ලෙස ඉංජිනේරු පීඨයේ  අවසන් වසරේ අධ්‍යාපනය ලබන ජේ. ඒ. හර්ෂ ධර්මප්‍රිය ය.   සෙසු සාමාජිකයින් ලෙස  ආර්.එම්.ටී.ටී.බී. සමරකෝන් (විද්‍යා පීඨය), එච්.එම්.සී.එස් මඩවෙල (ඉංජිනේරු පීඨය), ඩබ්ලිව්.එච්.එම්. ඩිල්ෂාන් (කලා පීඨය), එම්.ඒ.සඳුනි කාංචනා (ඉංජිනේරු පීඨය) සහ එම්.එම්.එච්.ආර්.බී. මාන්නප්පෙරුම (කෘෂිකාර්මික පීඨය) යන අය එක් වී සිටිති.

එවරස්ට් තරණය සඳහා ලබන මස මුල් සතියේ පිටතව යන පිරිස නේපාලයේ කත්මණ්ඩු නුවර සිට සැලරි දක්වා ගොස් එහි සිට නමචි බසාර් (3440m) දක්වා ගමන් ගැනීමට නියමිතය. එතැන් සිට ගෝකියෝ විල් (4760m) ඔස්සේ  එවරස්ට් බේස් කැම්ප් (5364m) වෙත අප්‍රේල් 20 වැනි දින ළඟා වීමට සැළසුම් කර තිබේ. මෙම කණ්ඩායමේ ඉලක්කය වී ඇත්තේ ඉන් නොනැවතී මීටර් 6200 ක උසකින් පිහිටි අයිලන්ඩ් පීක් තරණය කිරීම ය.

එවරස්ට් තරණය කිරීමට සැරසෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසු කණ්ඩායම…

මුහුදු මට්ටමේ සිට මිටර් 6200 ක උසින් යුත් මෙම ස්ථානයට ළඟා වී ඇත්තේ ශ්‍රී ලාංකිකයින් ඉතා සීමිත පිරිසකි. මෙම සිසු කණ්ඩායම ගමන් කිරීමට බලාපොරොත්තු වන ත්‍රී පාසස් මාර්ගය ( Three passes route) අතිශයින්ම දුෂ්කර, භයානක හා අභියෝගාත්මක එකකි.


කණ්ඩායමක් වශයෙන් මීට පෙර එම මාර්ගය ඔස්සේ එවරස්ට් කන්දේ මීටර් 6200 උසකට ශ්‍රී ලංකාවේ කිසිම විශ්වවිද්‍යාලීය සිසු කණ්ඩායමක් ළඟා වී නොමැත. ඒ අනුව මෙම ගමන සාර්ථක වුවහොත් එක මෙරට  ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරනු ඇත.

මෙවර පේරාදෙණිය විශ්වවිද්‍යාල හිමාල ගවේෂණ කණ්ඩායමේ තේමා පාඨය වන්නේ   Dream of Everest යන්නය. එවරස්ට් තරණය කිරීමට අපේක්ෂා කරන සිසු කණ්ඩායම එවරස්ට් කන්ද ආශ්‍රිත ප්‍රදේශයේ පවතින අධික ශීතල හා වායුගෝලයේ පවතින අඩු ඔක්සිජන් මට්ටමට ඔරොත්තු දිය හැකි ආකාරයට සිය සිරුරු හැඩ ගස්වා ගැනීම සඳහා මාස හයක පමණ කාලයක සිට විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන ඒකකයේ පුරුදු පුහුණු වෙමින් කඳු තරණය සදහා නියමිත ක්‍රමවේදයන් අනුගමනය කළ බව  ගවේෂකයින් ගේ  සංගමයේ සභාපති රශ්මික අකලංක පැවසීය.

දැඩි සීත දේශගුණික තත්ත්වයට ඔරොත්තු දෙන ලෙස සිරුරු ශක්තිමත්ව පවත්වා ගැනීම ඇතුළු අභියෝග රැසකට එවරස්ට් තරණයේ දී මුහුණ දීමට සිදුවන බවත් ශක්ති ජනක ආහාර ලබා ගැනීම, කඳු නැගීම සඳහා අවශ්‍ය ආම්පන්න හා ඒවා රැගෙන යාමට අවශ්‍යය ගමන් මලු, බූට්ස්, ඖෂධ වැනි දෑ ලබා ගැනීමට විශාල මුදලක් වැයවන බැවින් ඒ සඳහා අනුග්‍රහය දැක්වීමට හැකියාව ඇතොත්  0768932040  අංකය ඔස්සේ දැනුම් දෙන ලෙසත් හිමාලයානු ගවේෂණය කණ්ඩායම් නායක හර්ෂ ධර්මප්‍රිය පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කවදා හෝ දිනක එවරස්ට් කදු මුදුනේ මෙරට  ජාතික කොඩිය හා විශ්වවිද්‍යාලයීය කොඩිය ලෙලදීමේ අභිප්‍රාය ඇතිව එයට මූලික පියවරක් ලෙස මෙම ගවේෂණය සිදු කරන බව ද ඔහු කීවේය.

Exit mobile version